Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට එයි

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට එයි

Nisanka Sandeepani - 2018 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු දැල්පන්දු තරගාවලියේදී මැලේසියාව සමග තරගයෙන් ලකුණු  62-59 ක් වශයෙන් තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කුසලාන වටය සදහා තරග කරන සුපිරි කණ්ඩායම් හතර තුළ තවදුරටත් ප්‍රථම ස්ථානයේ පසුවෙයි. 

මෙම තරගය සිංගප්පූරුවේ ඕසීබීසී එරීනා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී  අද (05දා) පැවැත්විණ. ආසියානු දැල්පන්දු තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම් වන මැලේසියාව සහ සිංගප්පූරුව පහසුවෙන්ම පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරගයේ ස්ථානය පලමුවෙන්ම වෙන් කරගත්තේය. 

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායම් හතරේ තවත් එක් තරගයකට හෙට (06 වැනිදා) හොං කොං සමග තරග වැදීමට නියමිත අතර එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.

පළමු කාර්තුව තුළ මැලේසියානු කණ්ඩායමෙන් දැඩි තරගකාරිත්වයක් දැකගත හැකි වූ අතර, එම කාර්තුව ඔවුන් ජයග්‍රහණය කළේ ලකුණු 15-13 ක් වශයෙනි. එහිදී ශ්‍රී ලංකා කන්ඩායමට සුපුරුදු දක්ෂතා දැක්වීමට මැලේසියානු ක්‍රීඩිකාවෝ ඉඩ නොදුන්හ. 

ශ්‍රී ලංකා කණ්ඩායමටලකුණු ලබා ගැනීමට තිබුණු අවස්ථා කිහිපයක් ගිලිහී ගිය අතර එම වැරදි නිවැරදි කර ගැනීමට ඔවුහු දෙවැනි කාර්තුවේදී සමත් වූහ.

වැඩි උපක්‍රම ක්‍රියාත්මක කරමින් තරගයේ පාලනය තමා වෙත නතු කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි කාර්තුවේදී  ජය තමා සතු කරගත් අතර, එහිදී එම කාර්තුව තුළ ලකුණු 19-12 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. දෙවැනි කාර්තුව නිමාවේදී සමස්ත ලකුණු ප්‍රමාණය දැක්වුණේ ලකුණු 32-27 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතේ තබමිනි.   

දෙවැනි කාර්තුවේදී දුලංගි වන්නිතිලක සහ හසිතා මෙන්ඩිස් එක්ව සිංගප්පූරු සබඳතා බිදදමමින්  ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු රැස් කිරීමට අවස්ථාව හිමිකර දුන්හ. එමෙන්ම හසිතා මෙන්ඩිස් පිටියේ විශේෂ දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා විදින්නිය වූ තර්ජිනී ශිවලිංගම්ට පන්දුව පිරිනමමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව වේගවත් කළාය. 

තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම විවෘත කළ තෙවැනි කාර්තුවේ ජයද හිමිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. ඒ ලකුණු 16-15 ක් වශයෙනි. එම කාර්තුව ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකා නායිකා චතුරංගි ජයසූරියගේ සහ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක් වන ගයනි දිසානායකගේ දක්ෂතා බොහෝ සෙයින් ඉවහල් විය. තෙවැනි කාර්තුව අවසානයේ සමස්ත ලකුණු ප්‍රමාණය දැක්වුණේ 48-42 ක් වශයෙනි. 

කෙසේ වෙතත් සිව්වැනි කාර්තුවේදී ලකුණු ලබාගැනීම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පාලනය ආරම්භයේදීම සම්පූර්ණයෙන් සියතට ගැනීමට සමත්විය.  එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් සිදුවූ අඩුපාඩු කිහිපයක් නිසා එම කාර්තුවේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 14 ක් රැස්කරගනිද්දී මැලේසියානු කණ්ඩායම ලකුණු 17 ක් රැස් කරගත්තේය. ඒ අනුව සමස්ත තරගය නිමාවූයේ ලකුණු 62-59 ක්  වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තියුණු ජයක් හිමි කර දෙමිනි. 

මේ අතර ඊයේ පැවති අනෙකුත් තරගවලින් චීන තායිපේ ලකුණු 21-73ක් ලෙස පරාජය කළ පිලිපීනයද පාකිස්තානය ලකුණු 34-60 ක් ලෙස පරාජය කළ මාලදිවයිනද ජපානය ලකුණු 32-60 ක් ලෙස පරාජය කළ බෘනායි රාජ්‍යයද ඉන්දියාව ලකුණු 42-64 ක් ලෙස පරාජය කළ තායිලන්තයද ඊළග වටයේ බලාපොරොත්තු අලුත් කරගත්තේය.

මේ වනවිට තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව තමන් සහභාගි වූ සියලු තරග ජයගෙන ඉදිරියෙන් පසුවේ.
හෙට (06 දා) තරගාවලියේ හයවැනි දිනයයි.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.