Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව ජය පෙනෙන මානයේ
යොවුන් ටෙස්ට් තරගය - 2

ශ්‍රී ලංකාව ජය පෙනෙන මානයේ

editorial - 2023 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා යොවුන් දඟ පන්දු යවන්නන් හමුවේ දෙවැනි වතාවටත් අමාරුවේ වැටුණු කොදෙව් යොවුන් පිතිකරුවෝ ලකුණු 251 කට කඩුලු 8 ක් අහිමි කරගත්හ. එවන් පසුබිමකදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ජෝර්ඩ්න් ජොන්සන් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි යොවුන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අදත් (13 වනිදා) ශ්‍රී ලංකාවට එරෙහිව ශතකයක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මුල් ඉනිමේදී ලකුණු 326 ක් ලබාගත් බැවින් අද සවස ක්‍රීඩාව නතර කරන විට කොදෙව්වන් සතුව පැවතියේ ලකුණු 52 ක වාසියක් පමණි. තරගයේ සම්පූර්ණ දින දෙකක්ම ඉතිරිව තිබෙන බැවින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම, තරගාවලියේ ජයග්‍රහණයට අත පොවන මානයේ සිටී.

කොදෙව් යොවුන් පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදීත් ශ්‍රී ලංකා යොවුන් පිල 2-1 ක ජයක් ලබාගත්තේය.

පළමු ටෙස්ට් තරගයේදීත් කොදෙව් පිල වෙනුවෙන් ලකුණු 149 ක් ලබාගත් වමත් පිතිකරු ජෝර්ඩ්න් ජොන්සන්, ඊයේත් ලකුණු 52 ක් ලබාගත්තේ කොදෙව් යොවුන් පිතිකරුවන්ගේ මුල් ඉනිමේ ලකුණු සංඛ්‍යාවෙන් 41% ක දායකත්වය දරමිනි. දෙවැනි ඉනිමේදී කොදෙව් යොවුන් ඉනිමේ බරට තනිවම කරගැසූ ජොන්සන් පන්දු 136 කදී ලකුණු 133 ක් ලබාගත්තේ හතරේ පහර 16 ක් සහ හයේ පහරක් ද සිය ඉනිමට ඇතුළත් කරමිනි. පළමු වරට ටෙස්ට් තරගාවලියට සහභාගි වන කෙදෙව් යොවුන් පිතිකරුවා පිට පිට ඉනිම තුනකදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 334 කි.

කොදෙව් යොවුන් පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ කෙතරම් අසාර්ථක වූයේද යත්, ජොන්සන් හැරෙන්නට, වෙනත් කිසිම පිතිකරුවකුට ලකුණු 40 ක් ඉක්මවා ලබාගත නොහැකි විය. වරෙක කඩුල්ලක් දැවී ලකුණු 110 ක් ව තිබු කොදෙව් ලකුණු පුවරුව, ඕවර 32 ක් ඇතුළත කඩුලු 8 කට 250 ක් ලෙසින් වෙනස් විය.

ජාතික කණ්ඩායමේ ආදර්ශය අනුව යමින්, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දෙවැනි ඉනිමේදී පන්දු යැවීම ආරම්භ කළේ දඟ පන්දු යවන්නන් දෙදෙනකුගෙනි. පන්දුවේ දිස්නය තිබියදී කවීෂ පියුමාල් සහ විහස් තෙව්මික දෙදෙනාම තරමක ප්‍රහාරයට ලක්වූ නමුත්, ස්ටීවන් වෙදර්බර්න් දවාගැනීමෙන් පසුව සෙසු පිතිකරුවෝ එකා පසුපස එකා දැවී ගියහ.

ඊයේ සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 4 කට ලකුණු 191 ක් ලබා සිටි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද දිවා ආහාරයට පෙරම ලකුණු 326 කට දැවී ගියේය. තරමක් වේගයෙන් ලකුණු ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අරමුණ වූයේ හැකි ඉක්මනින් කොදෙව්වන් දවාගනිමින් තරගයේ තීරණයක් ලබා ගැනීමට උත්සාහ කිරීමයි.

ශාරුජන් ශන්මුගනාදන් තම කඩුල්ල ආරක්‍ෂා කරගනිද්දී වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වූ මල්ෂ තරුපති පන්දු 49 කින් ලකුණු 70 ක් ලබාගත්තේය. එයින් ලකුණු 48 ක්ම හතරේ සහ හයේ පහර වලින් ලබාගත් මල්ෂ, මුහුණ දුන් සෑම පන්දු 5 කින්ම එකක් හතරේ සීමාවෙන් එපිටට යැවීමට පසුබට නොවීය.

ශාරුජන් දැවී යාමෙන් පසුව මල්ෂට අගනා සහයෝගයක් දුන් විහස් තෙව්මික පන්දු 38 කින් ලකුණු 31 ක් ලබාගත්තේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනඟමිනි.


බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 127 යි
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - පළමු ඉනිම කඩුලු 326 යි

(පුලිඳු පෙරේරා 41, රවිශාන් ද සිල්වා 43, රූසඳ ගමගේ 58, දිනුර කළුපහන 33, ශාරුජන් ශන්මුගනාදන් 36, මල්ෂ තරුපති 70, විහස් තෙව්මික නොදැවී 31, ඉසායි තෝර්න් 64/2, තරීක් එඩ්වඩ් 75/2, නේදන් සීලි 82/4)

බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම - දෙවැනි ඉනිම කඩුලු 8 ට 251 යි
(ස්ටීවන් පැස්කල් 25, ස්ටීවන් වෙදර්බරන් 37, ජෝරඩ්න් ජොන්සන් නොදැවී 133, මාවේන්ද්‍ර දින්ද්‍යාල් 15, ඩිවොනි ජෝෂප් 16, ජොෂුවා ඩොර්න් 16, කවීෂ පියුමාල් 55/2, විහස් තෙව්මික 55/3, මල්ෂ තරුපති 44/2)

 


අදහස් (0)

ශ්‍රී ලංකාව ජය පෙනෙන මානයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.