ශ්‍රී ලංකාව දිවා/රාත්‍රී ටෙස්ට් තරගයක
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දිවා/රාත්‍රී ටෙස්ට් තරගයක් ලබන ඔක්තෝබර් මස ඩුබායිහිදී පැවැත්වීමට දෙරට අතර එකඟතාවයකට පත්ව තිබේ. මෙම තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු දිවා/රාත්‍රී ටෙස්ට් තරගය ලෙස ද ඉතිහාසයට එකතු වේ.
ඩුබාහිහිදී පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය දිවා/රාත්‍රී තරගය ලෙස පැවැත්වීමට නියමිත අතර එම තරගය ඔක්තෝබර් මස 6 වැනිදා ආරම්භ කිරීමට දින යොදාගෙන තිබේ.
දෙරට අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අබුඩාබිහිදී මේ මස 28 වැනිදා ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමේදී පැවසුවේ මෙම තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණ සහ දිනයන් මේ දක්වා ස්ථිර වී නොමැති බවයි.
“අපි තවත් කරුණක් පිළිබඳව බලා ඉන්නවා. එය මෙම සතිය අවසානයේ නිමා වෙයි. ඉන් පසුව පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලියේ ක්‍රීඩාංගණ සහ දින ස්ථිර කරනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර විස්සයි20 තරගයක් ලාහෝර් නුවර දී පැවැත්වීමට කලින් සැලසුම්කර තිබුණ ද එය මේ දක්වා ස්ථිර වී නොමැත.
පාකිස්තානු සංචාරය සඳහා නම් කර ඇති 25 දෙනකුගෙන් යුත් මූලික සංචිතයට ආබාධයන්ට ලක්ව වසරකට වැඩි කාලයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටි වේග පන්දු යවන ධම්මික ප්‍රසාද් සහ දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ ඇතුළත්ව සිටිති.
ශ්‍රී ලංකා සංචිතය:
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, රංගන හේරත්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ලක්‍ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, ජෙෆ්රි වැන්ඩසේ, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර, ඩිල්රුවන් පෙරේරා, මාලින්ද පුෂ්පකුමාර, රොෂේන් සිල්වා, අකිල ධනංජය, චරිත් අසලංක, ශාමින්ද එරංග සහ ධම්මික ප්‍රසාද්