Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව ලකුණු 153 ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව ලකුණු 153 ක් ඉදිරියෙන්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉනිමේ නැංගුරම බවට පත්ව සිටින අසාර් අලිගේ ඉවසීම නිසා තරමක් තැන්පත් ලීලාවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු පිතිකරුවෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේදී තුන්වැනි දිනය වන අද (30 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සිය පළමු වැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 266 ක් රැස්කරගෙන සිටියහ.

ශ්‍රී ලංකා පිල සිය මුල් ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 419 ක් ලබාගත් අතර පාකිස්තානු පිලට වඩා තවමත් ලකුණු 153 ක් ඉදිරියෙන් සිටී.

අද දිනයේ යැවූ අවසන් ඕවරයේදී නුවන් ප්‍රදීප් විසින් බාබර් අසාම් දවාගන්නා ලදි. තරගයේ ඉතිරිව ඇත්තේ තවත් දින දෙකක් පමණි.

තේ පානයෙන් පසුව යැවුණු දෙවැනි ඕවරයේදීම අසාඞ් ශෆීක් දැවී ගිය නමුත් එතැන් සිට බාබර් අසාම් සමග එක්වූ අසාර් අලි අද දිනයේ අවසන් ඕවරය දක්වාම ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙහෙසට පත්කළේය. සිය පළමු වැනි හතරේ පහර ගැසීමට පන්දු 126 ක් ඉවසාගෙන සිටි අසාර් අලි අද දිනයේ ටෙස්ට් ලකුණු 5000 කඩයිම පසුකර ගියේය. පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 ක් ලබාගත් 8 වැනි පිතිකරුවා ඔහුය.

ටෙස්ට් ඉනිමකදී සිය පළමු හතරේ හෝ හයේ පහර වෙනුවෙන් වැඩිම පන්දු සංඛ්‍යාවකට මුහුණ දුන් පිතිකරුවන් අතර සිවුවැනි ස්ථානය අසාර් අලිට හිමිවෙයි. දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස් (පන්දු 221), ඕස්ටේ්‍රලියාවේ ස්ටීවන් ස්මිත් (පන්දු 135), නවසීලන්තයේ මාටින් ගප්ටිල් (පන්දු 134) යන තිදෙනා සිය පළමු හතරේ හෝ හයේ පහර සඳහා අසාර් අලිගේ පන්දු 126 ට වැඩි සංඛ්‍යාවකට මුහුණ දුන්හ.

දිවා ආහාරයත් තේ පානයත් අතරේ තම කඩුලු ආරක්‍ෂා කරගත් අසාර් අලි සහ අසාඞ් ශෆීක් දෙදෙනා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමින් පාකිස්තානු පිල ඉදිරියට ගෙන ගියහ. ෂාන් මසූඞ් සහ සාමි අස්ලම් දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 114 සම්බන්ධතාවක් පවත්වමින් පාකිස්තානු පිලට සාර්ථක ආරම්භයක් දුන් නමුත් දිවා ආහාරයට ඔන්න මෙන්න තිබියදී කඩුලු දෙකක් දවාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් තරගයට අවතීර්ණ විය.

ලකුණු 2 ක් තුළදී පාකිස්තානු ආරම්භක පිතිකරුවන් දෙදෙනාවම ආපසු ක්‍රීඩාගාරයට යැවීමට ඩිල්රුවන් පෙරේරා සහ රංගන හේරත් සමත් වූහ. දඟ පන්දු යවන්නන් තිදෙනකු සමග තරග කරන නමුත් යවන යවන සෑම පන්දුවක්ම දඟ නොකැවෙන බව දන්නා පළපුරුදු පන්දු යවන්නෝ දෙදෙනා කිසියම් පාලනයක් ඇතිව පන්දුව නිසි ඉලක්කයකට යොමු කරමින් සිටියහ. පිතිකරුවන්ගේ අත්වැරදීම් සමගම ඔවුන් දෙදෙනා සාර්ථක ප්‍රතිඵල අත්කර ගත්හ.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ තුන්වැනි දිනය ආරම්භ කළේ ලක්ෂාන් සඳකැන් සහ සුරංග ලක්මාල් දෙදෙනාට පන්දුව බාර කරමිනි. ලක්මාල් කිසියම් එල්ලයක් ඇතිව පන්දු යැවූ නමුත් පාකිස්තානු ආරම්භක පිතිකරුවෝ දෙදෙනා ඔහුගෙන් කදිමට ගැලවෙමින් මුලු ලකුණු සංඛ්‍යාව 114 දක්වා තල්ලු කරගෙන ගියහ. අලංකාර කවර් ඩ්‍රයිව් පහරකින් මසූඞ් සිය අර්ධ ශතකය ලබාගත් නමුත් ඒ සමගම වාගේ මසූඞ්ගේ උඩපන්දුව ගිළිහී යන විට පාකිස්තානු ලකුණු පුවරුවේ සටහන්ව තිබුණේ ලකුණු 97 ක් පමණි.

ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් මසූඞ්ගේ පිත්තේ පිටත දාරයේ වැදී කඩුලු රැකි නිරෝෂන් දික්වැල්ල පසුකරමින් ඇදී ගියද ස්ලිප්හි සිටි දිමුත් කරුණාරත්නට එය රැකගත නොහැකි විය. මෙම තරගය පැවැත්වෙන තණතීරුවේ ස්වභාවය සලකා බැලීමේදී එය මහත් අවාසි ගෙනදිය හැකි අතහැරීමක් වූවත් රංගන හේරත් පිහිටට පැමිණීම නිසා ශ්‍රී ලංකාවට වැඩි හානියක් නොවීය. මේ වන විට සිය 400 වැනි ටෙස්ට් කඩුල්ල සොයා යමින් සිටින හේරත්ගේ පන්දුවකට ස්වීප් පහරක් ගැසීමට යමේදී පිත්ත මඟහැර ගිය පන්දුව මසූඞ්ගේ පා ඉන්නේ වැදිණ. එය හේරත්ගේ 390 වැනි ටෙස්ට් කඩුල්ල විය.

ලකුණු 114 ක පළමු කඩුල්ලේ සම්බන්ධතාව බිඳ දමන ලද්දේ ඩිල්රුවන් පෙරේරා විසිනි.

 

ශ්‍රී ලංකා - පාකිස්තානු පළමු ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා...


අදහස් (0)

ශ්‍රී ලංකාව ලකුණු 153 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.