Last Update  :  2024-10-18 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවතට
කාන්තා වි:20 ලෝක කුසලාන

ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවතට

editorial - 2024 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)  

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 82 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙම ජයත් සමග ඉන්දියාව තරගාවලියේ අවසන් පූර්ව වටයට සඳහා බලාපොරොත්තු ඉහළ නංවාගත් අතර ශ්‍රී ලංකාව මූලික වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියෙන් ඉවතට විසි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඉන්දීය පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 90 ක් පමණි. දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ ආෂා සෝභනා සහ අරුන්දතී රෙඩ්ඩි ලකුණු 19 කට කඩුලු 3 ක් බැගින් දවාගත් අතර ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඇයට අනගි සහායක් දුන් රේනුකා සිං කඩුලු 2 ක් බිඳහෙළුවාය.  

පිත්තේ පිටත දාරයේ වැදී ඉහළ ගිය පන්දුව විශිෂ්ඨ උඩ පන්දුවක් බවට පරිවර්ථනය කර ගැනීමට ඉන්දීය කණ්ඩායමේ අතිරේක ක්‍රීඩිකා රාධා යාදව් සමත් වීමත් සමග විෂ්මි ගුණරත්නට ලකුණු නොලබාම පිටියෙන් ඉවත්ව යෑමට සිදු වූවාය. කණ්ඩායමේ බර කරට ගත යුතුව තිබූ අවස්ථාවේදී පිට පිටම තෙවැනි වරටත් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය නායිකා චමරි, තමාගේ කඩුල්ල බන්දේසියක තබා ස්ලිප්හි පන්දු රකිමින් සිටි දීප්ති ශර්මාට පූජා කළාය.

මුලු ලකුණු සංඛ්‍යාව 6 ක්ව තිබියදී ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස හර්ෂිතා සමරවික්‍රමද පිටියෙන් ඉවත්ව ගියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා අසීරු තත්වයකට ඇද දමමිනි. වැටී තිබූ තත්වයෙන් කණ්ඩායම ගොඩගැනීමේ උත්සාහයක නිරත වූ කවීෂා දිල්හාරි (21) සහ අනුෂ්කා සංජීවනී (20) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 37 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නමුත්, එම උත්සාහය අසාර්ථක වූයේ අනුෂ්කා ස්ටම්ප් කිරීමකට හසුවීම හේතුවෙනි.

එතැන් පටන් පීඩනය තවත් වැඩි කරමින් ලකුණු 22 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ දැමූ ඉන්දීය පන්දු යවන්නියෝ, ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 65 කට කඩුලු 8 ක් බවට පත්කළහ. අවසන් කඩුලු 2 සඳහා ලකුණු 25 ක් එක් කිරීමට පසුපෙළ පිතිකාරිණියෝ සමත් වුවද, ශ්‍රී ලංකා ඉනිම ලකුණු 90 කට සීමා කළ ඉන්දීය ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාවට මෙවර ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායමක් ලැබූ දැවැන්තම පරාජය උරුම කර දුන්හ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 172 ක් ලබාගත් අතර එය මෙවර ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවද විය. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායිකා හර්මන්ප්‍රීත් කෞර් පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 52 ක් රැස්කිරීමට සමත් වූවාය.

 එය කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගයකදී ක්‍රීඩිකාවක් ලබාගත් තෙවැනි වේගවත්ම අර්ධ ශතකය මෙන්ම හර්මන්ප්‍රීත්ගේ 13 වැනි විස්සයි-20 අර්ධ ශතකයද විය. රීචා ඝෝෂ් (නොදැවී 6) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කාන්තා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 170 සීමාවෙන් ඔබ්බට ගෙන යෑමටද හර්මන්ප්‍රීත් සමත් වූවාය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වෙහෙසට පත්කරමින් ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ෂෙෆාලි වෙර්මා (43) සහ ස්මිත්‍රි මන්දනා (50) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 77 කදී ලකුණු 98 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූහ. එහිදී පන්දු 38 කට මුහුණදුනු මන්දනා හයේ පහරකින් සහ හතරේ පහරකින් සිය 27 වැනි විස්සයි-20 අර්ධ ශතකය සැරසූ අතර පන්දු 40 කදී වාර්තා වූ ෂෙෆාලිගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.

ලකුණක් කරා දිවයමින් සිටි මන්දනා සීමා ඉර පසුකර යෑමට පෙරාතුව, කවර් කළාපයේ පන්දු රකිමින් සිටි අමා කාංචනා යොමුකළ පන්දුව රැගෙන කඩුල්ල බිඳ දැමූ චමරි ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාවට තිත තැබුවාය. ඉන් නොනැවතුන චමරි, ඉන්දීය ලකුණු පුවරුවට තවත් එක් ලකුණක් හෝ එකතු වීමට පෙර ෂෙෆාලි වෙර්මාද පිටියෙන් ඉවත් කිරීමට සමත් වූවාය.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.