Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දුනීසියාවේ සුරබයා නුවරදී පැවැත්වෙන ආසියානු වොලිබෝල් තරගාවලියේ අද (26 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකාව පරදවා වට 3-2 ක තියුණු ජයක් ලැබීමට වියට්නාමය සමත් විය.
පළමු වටය ලකුණු 25/19 ක් ලෙස ජයගත් වියට්නාමය ආරම්භයේදීම තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය. එහෙත් ආක්‍රමණශීලි අයුරින් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙවැනි වටය ලකුණු 25/16 ක් ලෙස ජයගනිමින් වට 1-1 ක් ලෙස තරගය සම තත්ත්වයට පත් කළහ.
ඉන් අනතුරුව පැවැති තෙවැනි සහ සිවුවැනි වට දෙකම ඉතා තියුණු මුහුවරක් ගත් අතර එහිදී ලකුණු 25/21 ක් ලෙස තෙවැනි වටයෙන් සියුම් ජයක් අත්කරගත් වියට්නාමය වට 2-1 ක් ලෙස නැවත වරක් තරගයේ පෙරමුණට පැමිණියේය. කෙසේ වුවත් සටන අත් නොහළ ශ්‍රී ලංකා කණ්ඩායම සිවුවැනි වටයේදී ඉතා උපක්‍රමශීලී අයුරින් තරග වදිමින් යළිත් වරක් තරගය සම තත්ත්වයට පත්කළේ එම වටයෙන් ලකුණු 25/20 ක ජයක් ලබමිනි.
දෙපිලටම තීර්ණාත්මක වූ පස්වැනි සහ අවසන් වටයද ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර ඉන් ජය ලැබීම සඳහා අවශ්‍ය වූ ලකුණු 15 සීමාවට ශ්‍රී ලංකාවට පෙර ලඟා වූ වියට්නාමය වට 3-2 ක් ලෙස සමස්ත තරගයෙන් ජය ලැබීය. අවසන් වටයේදී වියට්නාමය හමුවේ තරමක පසුබෑමක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට එහිදී රැස්කරගත හැකි වූයේ ලකුණු 9 ක් පමණි.
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උස පන්දු ප්‍රහාරකයන් වන ජනිත සුරත් ලකුණු 16 ක්ද, ලසිඳු මෙත්මාල් ලකුණු 15 ක්ද, චාමර මිහිරාන් 10 ක්ද රැස්කළ අතර කෙටි පන්දු ප්‍රහාරකයන් වන අයේෂ් දිල්හාන් ලකුණු 12 ක්ද, වසන්ත ලක්මාල් ලකුණු 11 ක්ද රැස්කළහ. එහිදී කණ්ඩායමේ නායක ශමිල් මලින්දට සහ උප නායක ගයාන් මධුෂංකට රැස්කරගත හැකි වූයේ පිළිවෙළින් ලකුණු 1 ක් සහ 6 ක් පමණි.
‘සී’ කාණ්ඩය යටතේ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාව මින් පෙර පැවැති මූලික වටයේ තරග වලදී ජපානය හමුවේ වට 3-0 ක් ලෙසද, දකුණු කොරියාව හමුවේ වට 3-0 ක් ලෙසද පරාජයට පත් විය. ඒ අනුව මූලික වටයේදී සහභාගි වූ තරග තුනේදීම පරාජය වී ‘සී’ කාණ්ඩයේ සිවුවැනි ස්ථානයට පත් වූ ශ්‍රී ලංකාවට, ශ්‍රේණිගත කිරීමේ වටයේදී ‘ජී’ කාණ්ඩය යටතේ තරග වැදීමට සිදුවිය.
මූලික වටයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ‘සී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත්වූ වියට්නාම කණ්ඩායමද, ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන වලට පත් වූ කුවේට් සහ සවුදි අරාබි කණ්ඩායම්ද ශ්‍රේණිගත කිරීමේ වටයේදී ‘ජී’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත සෙසු කණ්ඩායම් වේ.
වියට්නාමයට එරෙහිව අද පැවැති තරගයේදී පරාජයට පත්ව සිටීම නිසා ශ්‍රේණිගත කිරීමේ වටයට පිවිසෙද්දීම ශ්‍රී ලංකාවට හිමිවූයේ ‘ජී’ කාණ්ඩය තෙවැනි ස්ථානයයි. එහිදී ශ්‍රී ලංකාව ‘ජී’ කාණ්ඩයේ තවත් තරග දෙකකට සහභාගි වීමට නියමිත අතර ඉන් පළමුවැන්න කුවේට් රාජ්‍යයට එරෙහිව හෙට (27 වැනිදා) ඉන්දුනීසියා වේලාවෙන් පෙරවරු 11.30 ටද, දෙවැන්න සවුදි අරාබියට එරෙහිව 29 වැනිදා පස්වරු 4.30 ටද පැවැත්වේ. එම තරග වලදි දක්වන දක්ෂතා අනුව කණ්ඩායම් 16 ක් අතුරින් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේදී හිමිවන ස්ථානය තීරණය වේ.
ශ්‍රී ලංකා - වියට්නාම ආසියානු වොලිබෝල් තරගයේ විශේෂ අවස්ථා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.