Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
කොළඹ තුරඟ තරඟ පිටියේදී අද (19 වැනිදා) පැවති තීරණාත්මක රග්බි ටෙස්ට් තරගයේදී මැලේසියාවට එරෙහිව ලකුණු 59-19 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රබලතම රග්බි කණ්ඩායම් 4 අතරේ ස්ථානයක් වෙන්කර ගත්තේය. මෙම ජයග්‍රහණයත් සමගින් වසර 2027 ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලබාගන්නා දෙවැනි ආසියානු කණ්ඩායම තෝරාගනු ලබන ‘2025 එමිරේට්ස් - ආසියානු රග්බි ශූරතාවලියේදී’ තරග වැදීමටත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉඩ ප්‍රස්ථාව සලසා ගත්හ.
කොළඹදී පැවැති තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල දිනුම් 7 කින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු ලබාගත්තේය. මැලේසියානු කණ්ඩායම ගෝල දෙකකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලබාගත්තේය.
පසුගිය වසරේ ආසියානු රග්බි (පළමු කාණ්ඩයේ) ශූරතාව දිනාගත් ශ්‍රී ලංකාව, 2025 ආසියානු රග්බි ශූරතාවලියේ තම ස්ථානය තහවුරු කර ගැනීමේ මෙහෙයුමක යෙදී සිටියේය. එහෙත් ඒ සඳහා 2024 ආසියානු රග්බි ශූරතාවලියේ පහළම (4 වැනි) ස්ථානයේ සිටි මැලේසියාව පරාජය කිරීමට ශ්‍රී ලංකාවට සිදුවී තිබිණ.
කොළඹ තුරඟ තරග පිටියේදී අද පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිය අරමුණු මස්තකප්‍රාප්ත කරගත්හ.
දැඩි උණුසුම මෙන්ම අධික ආර්ද්‍රතාව සහිත තත්ත්වයන් තිබියදීත්, පස්වරු 4.00 ට ආරම්භ වූ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වේගවත් මෙන්ම ජව සම්පන්න තරගයක නිරත වූහ. අති විශිෂ්ට තරගයක නිරත වූ ඩිනාල් ඒකනායක උත්සාහක දිනුම් 3 ක්ම ලබාගනිමින් තරගයේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානයත් දිනාගත්තේය.
සත්කාරකයෝ, කාලය නාස්ති නොකරම, තරගය ආරම්භ වී විනාඩි 5 ක් ඇතුළත, ක්‍රීඩකයන්ගේ තල්ලුවකින් ඉදිරියට යමින්, පළමු උත්සාහක දිනුම ලබාගත්හ.
සෙන්ටර් ක්‍රීඩක ධනුෂ්ක රන්ජන් ලබාගත් පන්දුව නායක නයිජල් රත්වත්තේ වෙත පිරිනැමුණු අතර පසුව එය මුර්ෂීඩ් සුබයිර් මගින් වින්ගර් ක්‍රීඩක ජනිඳු ඩිල්ෂාන් වෙත යැවිණ. සැණෙකින් ක්‍රියාත්මක වූ ඩිල්ෂාන් එය නියමිත සීමාවේ තැබීමත් සමගින් පළමු උත්සාහක දිනුම වාර්තා වූයේ 05-00 ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට ගෙනෙමිනි.
පොරයකින් පසුව පන්දුව ලබාගත් මැලේසියාවද වහාම ප්‍රතිචාර දක්වූයේය. ශ්‍රී ලාංකික ආරක්‍ෂක ක්‍රීඩකයන් තිදෙනකු අතරින් දිවගිය අංක 8 ක්‍රීඩක එටෝනියා වාගා උක්සාහක දිනුමක් තැබූ අතර මුහම්මද් අමිරුල් අකිල් එහි ප්‍රවර්ථනය සාර්ථක කරගනිමින් 07-05 ක් ලෙසින් මැලේසියාව ඉදිරියට ගෙන ගියේය.
මැලේසියානු ක්‍රීඩකයින් තරමක් ආක්‍රමණශීලීව ඉදිරියට ආ නමුත් ශ්‍රී ලංකා ආරක්ෂක ක්‍රීඩකයෝ නොපසුබට ධෛර්යයෙන් යුතුව මැලේසියානුවන්ගේ ගමන් වළක්වාලූහ. ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රියා කලාපයන් හමුවේ මැලේසියානු කණ්ඩායමට දඬුවම් පහර කිහිපයක්ම පිරිනැමුණු නමුත් වාසනාවකට මෙන්, මුහම්මද් අමිරුල් අකිල් දඬුවම් පහර තුනක්ම අපතේ හැරියේය.
තරගයේ 22 වැනි විනාඩියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවාදීන්ගේ මීටර 22 සීමාවට පන්දුව රැගෙන ගියේය. එහිදී කළ පොරයකින් අනතුරුව පන්දුව ලබාගත් නයිජල් රත්වත්තේ එය මධුෂාන් වෙත යැවීය. මධුෂාන්ගෙන් පන්දුව ලබාගත් ධනුෂ්ක රන්ජන්, තම අත පොවන මානයේ තිබූ උත්සාහක දිනුම් සීමාව ඇතුළත පන්දුව තැබීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් ඉදිරියට පැමිණියේය. තවත් විනාඩි 10 කින් පසුව ආකාශ් මධුශංක ලබාගත් උත්සාහක දිනුම, මුර්ෂාඩ් සුබයිර් විසින් ගෝල දිනුමක් බවට ප්‍රවර්තනය කරනු ලැබීමත් සමගින් තරගය ශ්‍රී ලංකා පිල වෙත නැඹුරු විය.
ඒ වන විට ලකුණු පුවරුව කියැවුණේ 19-07 ක් ලෙසිනි.
විනාඩි 8 ක් ඇතුළත ඩිනාල් ඒකනායක සහ නවීන් මාරසිංහ ලබාගත් උත්සාහක දිනුම්, මුර්ෂාඩ් සුබයිර් විසින් ගෝල දිනුම් බවට ප්‍රවර්තනය කරනු ලැබීමත් සමගින් තරගයේ පළමු අර්ධය නිමාවිය.
ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම 33-07 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.
දෙවන අර්ධයේදී ශ්‍රී ලංකාව වඩාත් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ අතර, තමන්ගේම මීටර 22 සීමාවේ සිට ආක්‍රමණය ආරම්භ කළේය. දිගු පියවර තැබූ මුර්ෂීඩ් සුබෙයාර් එහි ආරම්භකයා විය.
ධනුෂ්ක රන්ජන් මැලේසියානු ක්‍රීඩකයන්ගේ ආරක්‍ෂක වලල්ල හරහා සිග් සැග් ආකාරයට දිවයමින් පන්දුව ඩිනාල් ඒකනායක වෙත බාරදුන්නේය. ඩිනාල්ට සිය දෙවැනි උත්සාහක දිනුම සඳහා එය ප්‍රමාණවත් ආධාරකයක් විය. මුර්ෂාඩ් සුබයිර් අමතර ලකුණු එකතු කළෙන් ලකුණු සංඛ්‍යාව 40-07 ක් ලෙසින් දිස්විය. වරෙක පිටියේ වමේ සිට දකුණටත්, නැවත දකුණේ සිට වමටත් යැවුණු පන්දුව නැවත වරක් ඩිනාල් අත පත්වූයෙන් ඩිනාල් පිට පිටම තුන්වැනි උත්සාහක දිනුමත් තැබීය. පිට පිටම හයවැනි වරටත් මුර්ෂාඩ් සුබයිර් සාර්ථක වූයෙන් ලකුණු සංඛ්‍යාව 47-07 ක් විය.
විනාඩි 45 ක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පීඩනයට මැදිව සිටි මැලේසියානුවෝ අවසානයේදී ප්‍රති-ප්‍රහාරයකින් ලකුණු සොයා ගියහ. මුහම්මද් අමිරුල් පන්දුව මීටර 22 සීමාවට ගෙන ගිය අතර, ස්ක්‍රම්-හාෆ් ක්‍රීඩක මොහොමඩ් නෂ්රුඩීන් විසින් ලබාගත් පන්දුව අංක 8 එටෝනියා වාගා වෙත යවන ලදි. පිටියේ ඈත කෙළවරේදී එටෝනියා වාගා සිය දෙවැනි උත්සාහක දිනුම ලබාගත් අතර එය මොහොමඩ් නස්රීන් විසින් ගෝල දිනුමක් බවට ප්‍රවර්ථනය කරන ලදි
ලකුණු සංඛ්‍යාව 47-14 ක් විය.
තරගයේ 58 වැනි විනාඩියේදී මැලේසියානුවන්ගේ පන්දු පිරිනැමීමක් අතරට පැන්න ජනිඳු ඩිල්ෂාන් අති විශිෂ්ට ආකාරයෙන් තනි අතින් පන්දුව තමන් වෙත ලබාගත්තේය. එතැනින් ආරම්භ කළ ගමන ඩිල්ෂාන් නතර වූයේ උත්සාහක දිනුම් සීමාවෙනි. අද තරගයේදී ඉතාමත් සාර්ථක පා පහර කිහිපයකින්ම ශ්‍රී ලංකා පිලට ලකුණු එකතු කළ මුර්ෂාඩ් සුබයිර් ගෝල කණුවලට සියුම් අනතියක් ඇතිව ගැසූ පහරත් සාර්ථක කරගත්තේ ලකුණු සංඛ්‍යාව 54-14 ක් ලෙසින් ඉදිරියට ගෙන යමිනි.
තරගයේ නිමාව ආසන්න වෙද්දී මැලේසියානු අංක 8 ක්‍රීඩක එටෝනියා වාගා පිට පිටම තුන්වැනි උත්සාහක දිනුමත් ලබාගත් නමුත් එහි ප්‍රවර්ථනය අසාර්ථක වූයෙන් මැලේසියානුවන්ගේ ලකුණු ලබාගැනීම එතැනින් නතර විය.
ඉතාම සාර්ථක තරගයක් අවසානයේ ශ්‍රී ලංකා ඉදිරි පෙළ ක්‍රීඩකයින්ට ඔවුන්ගේ මහන්සියේ ප්‍රතිඵල ලැබුණි. පුහුණුකරුවන්ගේ උපදෙස් අකුරටම ක්‍රියාත්මක වූ තල්ලුවකින් පන්දුව ලබාගත් දහන් වික්‍රමාරච්චි ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් උත්සාහක දිනුම ලබාගත්තේ ලකුණු සංඛ්‍යාව 59 ක් දක්වා ඉදිරියට ගෙන යමිනි.
ඒ වන විට තදින් වෙහෙසට පත්ව සිටි මුර්ෂාඩ් සුබයිර්ගෙන් ප්‍රවර්ථනය ගිළිහී ගියද ශ්‍රී ලංකාවට අවශ්‍ය ජයග්‍රණය සම්පූර්ණ වී තිබිණ.
ඡායාරූප - ගයාන් අමරසේකර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.