සුදුසුකම් ලැබීමේ තරගාවලිය
ශ්‍රී ලංකාවට කඩුලු 10 ක පහසු ජයක්
(ශානුක අරවින්ද)
එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අද (23 වැනිදා) බුලවායෝහිදී පැවැති තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග ඕමානය පසුපසට ඇද දමමින් ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකාවට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 99 ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ, ඕවර 15 ක් අවසානයේ කිසිවකු නොදැවී ඉලක්කය පසුකර ගියහ. දිමුත් කරුණාරත්න පන්දු 51 කදී හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 61 ක්ද, පැතුම් නිස්සංක පන්දු 39 කදී හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 37 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

දිමුත් කරුණාරත්න පිට පිටම ලබාගත් සිවුවැනි එක්දින අර්ධ ශතකය මෙය වූ අතර පැතුම් සමග එක්ව පිට පිටම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 80 කට වැඩි සම්බන්ධතාවක් ගොඩනැගූ සිවුවැනි අවස්ථාවද මෙය විය. ඕවර 15 යැවීම සඳහා පන්දු යවන්නන් 5 දෙනකුගේ සේවය ලබාගැනීමට ඕමාන නායකයා කටයුතු කළද, ඔවුන් කිසිවකු කඩුල්ලක් දවාගැනීමට අපොහොසත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඕමානයට වනිඳු හසරංගගේ සහ ළහිරු කුමාරගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 30.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 98 ක් පමණි. ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයේදී කඩුලු 6 ක් දවාගත් වනිඳු, මෙම තරගයේදීද කඩුලු 5 ක් බිඳහෙළමින් පිට පිටම දෙවැනි වරටත් තරගයේ වීරයා සම්මානය තමන් සතුකර ගත්තේය.
ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබාදුන් ළහිරු කුමාර (22/3) සහ කසුන් රාජිත (17/1) ලකුණු 20 කට කඩුලු 4 ක් බිඳහෙළමින් ඕමාන මුල් පෙළ සුනුවිසුණු කර දැමූහ. ජතින්දර් සිං (21) සමග එක්වූ අයාන් ඛාන් (41) පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 53 ක් එක් කිරීමට සමත් වුවද, තමා යැවූ තෙවැනි ඕවරයේදී කඩුලු 3 ක් දවාගත් වනිඳු, ඕමාන පිතිකරුවන්ට යළි හිස එසවීමට ඉඩන් ලබා නොදුන්නේය.
ලකුණු පුවරුව
ඕමානය
කාශ්‍යප් ප්‍රජාපති - ක.මු. කළා ප.ළහිරු 1
ජතින්දර් සිං - ක.මු. කළා ප.වනිඳු 21
අකීබ් ඉල්ලියාස් - ඇ.පැතුම් ප.රාජිත 6
සීෂාන් මක්සූද් - ඇ.අසලංක ප.ළහිරු 1
මොහොමඩ් නදීම් - ඇ.දිමුත් ප.ළහිරු 0
අයාන් ඛාන් - ඇ.ධනංජය ප.වනිඳු 41
ෂොයිබ් ඛාන් - ප.වනිඳු 0
ජායි ඔඩේඩ්‍රා - ක.මු. කළා ප.වනිඳු 0
නසීම් කුෂී - දුවද්දී දැවී ගියා 1
ෆයාස් බට් නොදැවී 13
බිලාල් ඛාන් - ක.මු. කළා ප.වනිඳු 0
අතිරේක 14
එකතුව ඕවර 30.2 කදී සියලු දෙනා දැවී 98
කඩුලු වැටීම :
1-01(කාශ්‍යප්), 2-15(අකීබ්), 3-16(සීෂාන්), 4-20(නදීම්), 5-72(ජතින්දර්), 6-72(ෂොයිබ්), 7-72(ඔඩේඩ්‍රා), 8-82(නසීම්), 9-94(අයාන්), 10-98(බිලාල්)
පන්දු යැවීම :
කසුන් රාජිත 6-0-17-1, ළහිරු කුමාර 8-2-22-3, මහීෂ් තීක්ෂණ 4-0-23-0, දසුන් ශානක 2-0-10-0, වනිඳු හසරංග 7.2-2-13-5, ධනංජය ද සිල්වා 3-0-13-0
ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - නොදැවී 37
දිමුත් කරුණාරත්න - නොදැවී 61
අතිරේක 2
එකතුව ඕවර 15 කදී කිසිවකු නොදැවී 100
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දසුන් ශානක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත සහ ළහිරු කුමාර
පන්දු යැවීම :
බිලාල් ඛාන් 4-0-26-0, ෆයාස් බට් 3-0-24-0, සීෂාන් මක්සූද් 4-0-24-0, ජායි ඔඩේඩ්‍රා 3-0-16-0, අයාන් ඛාන් 1-0-10-0