Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්

ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්

Nisanka Sandeepani - 2018 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තිසර පෙරේරාගේ (නොදැවී 39 සහ 33/4) තුන් ඉරියව් දස්කම් හේතුවෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඩකා හිදි අද (21 වැනිදා) පැවැති සිවුවැනි තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 199 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව ඕවර 44.5 කදි කඩුලු 5 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය. ඕවර 40 ට පෙර තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ නම් අතිරේක ප්‍රසාද ලකුණ හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වීමට තිබූ අවස්ථාව ගිලිහි ගීයේය.

හයවැනි කඩුල්ල සදහා පන්දු 61 කදී ලකුණු 57 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ නායක දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. වේගවත් පිතිහරඹයක නිරතවූ තිසර පෙරේරා පන්දු 26 කදී හයේ පහර තුනක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 39 ක් රැස්කළ අතර දිනේෂ් චන්දිමාල් පන්දු 71 කදී හතරේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 38 ක් රැස් කළේය.

පළමු ඕවර 10 තුළ ලකුණු 33 කට කඩුල්ලක් අහිමිකර ගෙන ලකුණු ලබාගැනීමේ වේගය 3.30 ක රදවාගෙන සිටි ශ්‍රී ලංකාව කෙමෙන් කෙමෙන් ලකුණු ලබාගැනීමේ වේගය වර්ධනය කර ගනිමින් ජයග්‍රහණය කරා පිය නැගීය.

දෙවැනි කඩුල්ල සදහා කුසල් මෙන්ඩිස් සමගින් ලකුණු 70 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ කුසල් පෙරේරා අර්ධ ශතකයට ලකුණක් මෙපිටින් දැවී ගියේය. වයිට් පන්දුවකට ආසන්න පන්දුවකට කුසල් පෙරේරා පහරක් ගැසීමට යාමේදී පිත්තේ දාරයේ වැදුණු පන්දුව කඩුලු රකින්නා ලෙස කටයුතු කරන අතිරේක ක්‍රීඩක රයන් මරේගේ අත් ආවරණ තුළ සිරවිය.

පෙර තරග වලට වඩා විශ්වාසයෙන් පන්දුවට පහරදෙමින් සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 36 ක් ලබාසිටියදි බ්ලෙසින් මුසරබානිගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අතර නිරෝෂන් දික්වැල්ලට සහ අසේල ගුණරත්නට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට සිම්බාබ්වේ පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ.

සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 44 ක් අවසානයේදී ලකුණු 198 කට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. සාර්ථක පන්දු යැවීමක යෙදුණු තිසර පෙරේරා (33/4) සහ නුවන් ප්‍රදීප් (28/3) කඩුලු හතක් බෙදාහදා ගත්හ.
එකම හයේ පහරක් හෝ ඇතුළත් නොවූ සිම්බාබ්වේ ඉනිමට එක් වූයේ හතරේ පහර 18 ක් පමණි.

පසුගිය තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහර පිට පහර දෙමින් අසරණ කර දැමූ සිකන්දර් රාසා ස්ථාවර වීමට පෙර දවාගැනිමට කුසල් මෙන්ඩිස්ගේ දක්ෂ පන්දු රැකීම ඉවහල් විය. ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ රාසා ගැසූ වේගවත් ස්ලොග් ස්වීප් පහරින් පන්දුව තම හිසට ඉහළින් ඇදී යද්දී ගුවනට පැන්න කුසල් මෙන්ඩිස් එය උඩපන්දුවක් කරගත්තේය. රාසාට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 9 ක් පමණි.

ලකුණු 73 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබියදී බ්‍රෙන්ඩන් ටේලර් සමගින් එක්ව පස්වැනි කඩුල්ල සදහා ලකුණු 66 ක සම්බන්ධතාවයක් පවත්වමින් කඩා වැටුණු සිම්බාබ්වේ ඉනිම තරමක් දුරට ගොඩනැගීමට මැල්කම් වොලර් සමත්විය.

සුරංග ලක්මාල් යවන ලද තරගයේ 17 වැනි ඕවරයේ පළමු පන්දුවේදී ලකුණු 2 ක් රැස්කර සිටි මැල්කම් වොලර් කඩුල්ල මුවා කළේ යැයි කළ ඉල්ලිමකට හයපත් ප්‍රතිචාර දැක්වූ ප්‍රධාන විනිසුරුවරයා විසින් දැවී ගිය බවට තීරණය කළේය. එම තීරණය සමගින් එකඟ නොවූ මැල්කම් වොලර් තෙවැනි විනිසුරුගේ පිහිට පතමින් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය. පුණරූපණ නැරඹ්මේදී පන්දුව පිත්තේ දාරයේ වැදී පාදයේ වදින ආකාරයක් දිස්වීම හේතුවෙන් මැල්කම් වොලර්ට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව හිමිවිය.

ස්ක්වෙයාර් ලෙග් දෙසට පහරක් ගැසිමට යාමේදී 17 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ලබාදුන් උඩපන්දුව උපුල් තරංග අතින් ගිලිහියාම නිසා මැල්කම් වොලර්ට පිට පිට දෙවැනි වතාවටත් කඩුල්ලේ රැඳි සිටීමට වාසනාව උදාවිය. වොලර්ගේ උඩපන්දුවක්ද සමගින් මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලෙන් උඩපන්දු දෙකක් ගිළිහී ගියේය.

සිම්බාබ්වේ ලකුණු පුවරුව ලකුණු 140 ක් වනවිට හයවැනි කඩුල්ල ලෙස පීටර් මූවර් දුවද්දී දවාගැනීමට හසුකර ගනිමින් වැඩි පීඩනයක් පිතිකරුවන්ට ඇති කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

කඩාවැටුණු සිම්බාබ්වේ ඉනිමට තරමක් දුරට ජීවය දෙමින් ලකුණු සංඛ්‍යාව ඉහළ දැමිමට උත්සහ කළ බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 58 ක් ලබාසිටියදී දැවී ගියේය. සිය 33 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 63 කදී ලබාගත්
බ්‍රෙන්ඩන් ටේලර් දැවීයන විට පන්දු 80 කට මුහුණදී හතරේ පහර 6 ක් ඉනිමට එක්කරගෙන සිටියේය.

කඩුලු 7 කට ලකුණු 191 ක් ලෙස පැවැති සිම්බාබ්වේ කණ්ඩායමේ ලකුණු පුවරුව සුළු මොහොතකින් වෙනස් කළ නුවන් ප්‍රදීප් අවසන් කඩුලු 3 ලකුණු 7 ක් තුළ දවාගැනීමට සමත්විය.

 
 

තරගයේ විශේෂ අවස්ථා ...

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.