Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කුසල් ජනිත්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති ‘නිදහස් කුසලාන’ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව අද (6 වැනිදා) සමත්විය.
ඉන්දියාව හමුවේ පිට පිට විස්සයි20 තරග 7 ක් පරාජයට පත්වී සිටි ශ්‍රී ලංකාව අද ලැබූ ජයත් සමගින් පරාජයන් වැලකට තිත තැබීය.
ජයග්‍රහණය සදහා ලකුණු 175 ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව පන්දු 9 ක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය සනිටුහන් කර ගැනීමට සමත්වූ අතර අවසන් මොහොතේ වේගවත් ලකුණු රැස්කිරීමක නිරතවූ තිසර පෙරේරා පන්දු 10 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 22 ක් ලබාගත්තේය.
ශර්දුල් ඨාකූර් යවන ලද තෙවැනි ඕවරයේදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් (එක් නිපන්දුවක් සමගින්) සමගින් ලකුණු 27 ක් උදුරා ගත් කුසල් ජනිත් තරගය නව මාවතකට යොමුකළ අතර සිය අටවැනි විස්සයි20 අර්ධ ශතකය පන්දු 22 කදී ලබාගත්තේය.
ලකුණු 66 ක් ලබාසිටියදී ලකුණු ලබාගැනීම තවත් වේගවත් කිරීමට ගත් උත්සහයකදී වොෂින්ටන් සුන්දර්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසුව කුසල් ජනිත් දැවීයනවිට පන්දු 37 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සිය ඉනිමට එක්කර ගැනීමට සමත්විය.
වේගවත් ආරම්භයක් ලබාගැනීමට කුසල් මෙන්ඩිස් සමත්වුවද වොෂින්ටන් සුන්දර්ගේ පන්දුවක් හමුවේ ශීකර් ධවාන් අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 11 කට දැවී ගියේය.
කුසල් ජනිත් සමගින් එක්ව දෙවැනි කඩුල්ල සදහා පන්දු 21 කදී ලකුණු 58 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ධණුෂ්ක ගුණතිලක ලකුණු 19 ක් ලබාසිටියදී ජයදේව් උනද්කට්ගේ පන්දුවක් හමුවේ රිෂාබ් පාන්ට් වෙත උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.
කඩුලු දෙකක් දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි නායක දිනේෂ් චන්දිමාල් දැවීයන විට කුසල් ජනිත් සමගින් එක්ව තෙවැනි කඩුල්ල සදහා පන්දු 23 කදී ලකුණු 28 ක සම්බන්ධතාවයක් ගොඩනගා තිබූණි. යුස්වේන්ද්‍ර චහල් එවූ පන්දුවක් චන්දිමාල් ඇසිපිය ගැසීමටත් පෙර කඩුල්ලේ දැවටීම හේතුවෙන් ලකුණු 14 කට පිටියෙන් ඉවත්වීමට ඔහුට සිදුවිය.
ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති විස්සයි20 තරගයකදී හොඳම ලකුණු හඹායෑමේ වාර්තාව අලුත් කිරීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
ශීකර් ධවාන්ගේ වේගවත් පිතිහරඹය හමුවේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 174 ක් රැස් කළේය. ශතකයට ලකුණු 10 ක් මෙපිටින් දැවීයාම හේතුවෙන් සිය මංගල විස්සයි20 ශතකය ලබාගැනීමට තිබූ අවස්ථාව ධවාන්ගෙන් ගිලිහී ගියද විස්සයි20 තරගයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඔහු සමත්විය. පන්දු 30 කදී සිය පස්වැනි විස්සයි20 අර්ධ ශතකය ලබාගත් ධවාන් දැවීයන විට පන්දු 49 කට මුහුණ දෙමින් හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 90 ක් ලබාගත්තේය.
මනීෂ් පාණ්ඬේ සමගින් එක්ව තෙවැනි කඩුල්ල සදහා පන්දු 64 කදී ලකුණු 95 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද ශීකර් ධවාන් සමත්විය.
ජීවන් මෙන්ඩිස්ගේ විශිෂ්ඨ පන්දු රැකීම හමුවේ ප්‍රවේගකාරී පිතිකරුවකු වූ රෝහිත් ශර්මා ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට හැකිවිය. දුෂ්මන්ත චමීර යවන ලද තරගයේ ප්‍රථම ඕවරයේ සිවුවැනි පන්දුවෙන් රෝහිත් ශර්මා දැවීයන විට ඉන්දීය මුළු ලකුණු සංඛාව එකක් විය.
නුවන් ප්‍රදීප් කඩුල්ල කෙළින් යවන ලද ෆුල්ටෝස් පන්දුවකට කඩුල්ලෙන් ඇත්වී පහරක් ගැසීමට ගිය සුරේෂ් රයිනා ලකුණකට දැවී ගියේය.
ජීවන් මෙන්ඩිස් යවන ලද 8 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ශීකර් ධවාන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට කළ ඉල්ලීම ප්‍රධාන විනිසුරු විසින් ප්‍රතික්‍ෂේප කිරීමත් සමගින් විනිසුරු තිරණය විමසීමේ ක්‍රමවේදය වෙත යෑමට නායක දිනේෂ් චන්දිමාල් තීරණය කළේය. පුණරූපන නැරඹ්මේදී පන්දුව පා ඉන්නෙන් පිටත පතිතවීම හේතුවෙන් ශීකර් ධවාන් දැවී නොගිය බවට තෙවැනි විනිසුරු විසින්ද තීරණය කිරීමත් සමගින් ශ්‍රී ලංකාව සතුව තිබූ එකම විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටීමේ අවස්ථාව අහිමිව ගියේය.
ශීකර් ධවාන්ට අනගි සහයක් ලබාදුන් මනීෂ් පාණ්ඬේ ලකුණු 37 කට දවාගැනීමට ජීවන් මෙන්ඩිස් සමත්විය. පන්දු 35 කට මුහුණදුන් පාණ්ඬේගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.
තරගය ආරම්භයේදී දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් හොදින් පන්දු යැවීමට සමත්වුවද අවසන් ඕවර කිහිපයේදී දැඩි ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් ධණුෂ්ක ගුණතිලක පන්දු යැවීම සදහා ගෙන්වීමට නායක චන්දිමාල්ට සිදුවිය. එහිදි හොදින් පන්දු යැවූ ධණුෂ්ක ගුණතිලක ඕවර 3 ක් යවමින් ලකුණු 16 කට කඩුල්ලක් දවාගත්තේය.
බංග්ලාදේශය සමගින් පැවති දෙවැනි විස්සයි20 තරගයේදී කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මධුෂංක සහ ඉසුරු උදාන වෙනුවට දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් කණ්ඩායමට කැඳවා තිබූ අතර ආබාධයට ලක්ව සිටි කුසල් ජනිත්ගේ ආගමනය සමගින් අමිල අපෝන්සුටද කණ්ඩායමේ ස්ථානය අහිමිවී ගියේය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා - ඉන්දීය නිදහස් කුසලාන වි20 තරගයේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.