Last Update  :  2024-09-18 20:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට සම්පූර්ණ සුද්දයක්
3 වැනි විස්සයි-20 තරගය

ශ්‍රී ලංකාවට සම්පූර්ණ සුද්දයක්

editorial - 2024 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

පිට පිටම තුන්වැනි වතාවටත් මැද පෙළ පිතිහරඹය අසාර්ථක වීම හේතුවෙන් අන්ත අසරණ වූ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් පල්ලෙකැළේදී අද (30 වැනිදා) පැවති විස්සයි-20 තරගයේ සුපිරි ඕවරයේදී ඉන්දියාව ජයගත්තේය. මෙම ජයත් සමගින් ලෝක ශුරයන් වන ඉන්දියානුවෝ විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකාවට සම්පූර්ණ සුද්දයක් දුන්හ. 

පළමු තරග දෙකේදී මෙන්ම අදත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 22 ක් ඇතුළත කඩුලු 7 ක් අහිමි කරගත් හෙයින් පහසුවෙන් ජයගත හැකිව තිබූ තරගයක් ‘ලකුණු සමවීමෙන්’ නතර විය. 

වොෂිංටන් සුන්දර් යැවූ සුපිරි ඕවරයේ පන්දු 4 ක් ඇතුළත පිතිකරුවන් දෙදෙනකුම දැවී ගියෙන් ශ්‍රී ලංකා ඉනිම එතැනින් නිමාවිය. සුපිරි ඕවරයේදී මුහුණ දුන් පළමු පන්දුවම හතරේ සීමාවට යැවූ ඉන්දීය නායකයා 3-0 ක් ලෙසින් තරගාවලියද ජයගත්තේය. 

ලකුණු 138 ක පහසු ඉලක්කයක් කරා යාමේදී ඕවර 16 ක් අවසන කඩුලු 2 කට ලකුණු 115 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 24 න් ලකුණු 23 ක් අවශ්‍ය විය. එහෙත් කුසල් මෙන්ඩිස් දැවී යාමෙන් පසුව පැමිණි වනිඳු හසරංග සහ චරිත් අසලංක දෙදෙනාම පිට පිට පන්දු දෙකකදී දැවී යාමෙන් ශ්‍රී ලංකා පිල නොසිතූ අමාරුවක වැටිණ. 

එතැන් සිට උමතුවෙන් මෙන් පිතිහැසිරවූ ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දු 7 ක් ඇතුළත, ලකුණු 03 කට, කඩුලු 4 ක් අහිමි කරගත්හ. කුසල් මෙන්ඩිස්ගේ දැවී යාමේ සිට මහීෂ් තීක්‍ෂණගේ දැවී යාම දක්වා, පන්දු 25 ක් ඇතුළත ලකුණු ලකුණු 27 කට දැවී ගිය පිතිකරුවෝ හත් දෙනෙකි. 

මැද පෙළ කඩා වැටුණ නමුත් අවසන් ඕවරයේදී ලකුණු 6 ක් ලබාගත්තේ නම් තරගය ජයගත හැකිව තිබිණ. එහෙත් සිය මුල්ම විස්සයි-20 ඕවරයේදී ලකුණු 05 කට කඩුලු දෙකක් දවාගත් ඉන්දීය නායකයා තරගය සමකළේය. 

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. 

ඉන්දීය ඉනිමේ පළමු ඕවරය යැවූ කෝඩුකාර චමිඳු වික්‍රමසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් කදිම ආරම්භයක් ලබාගනිමින් එක දිගට සිය ඕවර හතරම අවසන් කළේ ලකුණු 17 කට සිය මංගල අන්තර්ජාතික කඩුල්ලත් හිමිකර ගනිමිනි. ප්‍රහාරාත්මක ඕවර 6 නිමාවේදී ඉන්දීය ලකුණු පුවරුවේ සටහන් වූයේ ලකුණු 30 කි. එතැනින් පසුපාදයට වැටුණු ඉන්දීය පිතිකරුවෝ වරින් වර කඩුලු අහිමි කරගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පන්දු යැවීමත් පන්දු රැකීමත් ඉහළ මට්ටමක තිබිණ. 

තණතීරුව ඉතාමත් තියුණු ලෙසින් දඟ කැවුණු බැවින් මතීෂ පතිරණට එකම පන්දුවක් හෝ යැවිය නොහැකි විය. පතිරණ වෙනුවට පන්දුව බාරගත් කමිඳු මෙන්ඩිස් සිය ඕවර 3 ලකුණු 24 කට යවමින් තරගය අවසන් කළේය.

ලකුණු ලබාගැනීම බෙහෙවින් අසීරු වූ අතර එකම ඕවරයකදී වනිඳු හසරංගට හයේ පහර දෙකක් නොවැදුනා නම්, ඕවර 20 පුරාම ලකුණු 10 ට වඩා අඩුවෙන් ලබාගත් ඕවර හිටින්නේ එකක් පමණකි. වනිඳු හසරංගගේ තුන්වැනි ඕවරයෙන් ලකුණු 15 ක් ද කමිඳු මෙන්ඩිස්ගේ තුන්වැනි ඕවරයෙන් ලකුණු 11 ක් ද ලබාගැනීම හැරෙන්නට අනෙක් සියලුම ඕවර වලදී ලකුණු 10 කට අඩුවෙන් ලබාගැනිණ. 

පිතිකරුවන්ගේ හමුදාවකින් සමන්විත වන නමුත් ඉන්දීය පිලේ පස්වැනි කඩුල්ලත් ලකුණු 4 දී බිඳ වැටිණ. තම සහායක පිතිකරුවන් එකා පසුපස එකා දැවී යද්දී කඩුල්ල ආරක්‍ෂා කරගෙන සිටි ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල්, අංක 7 පිතිකරුවා වූ රයාන් පරාග් සමගින් එක්ව ගොඩනැංවූ ලකුණු 54 ක සම්බන්ධතාව නොවන්නට ඉන්දීය ඉනිමේ කතාව බොහෝමත් කණගාටුදායක වන්නට තිබිණ. 

පන්දු 37 කින් ලකුණු 39 ක් ලබාගත් ෂුබ්මන් ගිල් දැවී ගියේ වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් කළ ස්ටම්ප් කිරීමකිනි. ඉන්දීය ඉනිමට ඇතුළත් වූයේ රයාන් පරාග්ගේ හයේ පහර දෙකත්, වොෂිංටන් සුන්දර්ගේ හයේ පහරත් පමණි. 

 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (2)

ශ්‍රී ලංකාවට සම්පූර්ණ සුද්දයක්
  • Yapa bandara Wednesday, 31 July 2024 10:18 AM

    මොවුන් හොඳයි බං මන්ඩි බෝල ගහන්න. පව් සනත් ජයසූරිය මහත්මයාගේ මහන්සිය ක්‍රිකට් ලෝකයේ හිටිිය භයානක පිතිකරුවෙක් වෙලා මොවුන් හින්දා කොන්වෙනවා...

    Reply 0       0

    chandana Wednesday, 31 July 2024 04:54 PM

    චන්දිමාල් වගේ අත්දැකීම් සහිත පිතිකරුවෙක් පැත්තක තියලා ගහන මැච් දිනයිද අප්පා...?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.