Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට හෙට තීරණාත්මකයි

ශ්‍රී ලංකාවට හෙට තීරණාත්මකයි

editorial - 2022 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ සිංගප්පූරුවේ සිට)

සිංගප්පූරුවේදී අනිද්දා (11) පැවැත්වීමට නියමිත 12 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ මූලික අභිප්‍රායෙන් ශ්‍රී ලංකාව හෙට (10) සංශෝධිත කාල සටහනට අනුව ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ට හොංකොං රාජ්‍යයට එරෙහිව  පලමු අවසන්  පූර්ව  තරගයට සහභාගීවේ.

ඉරිදා (11) පැවැත්වෙන අවසන් මහා තරගයට අනෙත් පසින් නිර්දේශ  ලබන කණ්ඩායම තීරණය කෙරෙන දෙවැනි අවසන් පූර්ව තරගය සිංගප්පූරුව හා මලයාසියාව අතර
හෙට පැවැත්වීමට නියමිතව ඇත්තේ සංශෝධිත කාල සටහනට අනුව ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30ටය.

ඒ අනුව මෙතෙක් තරගාවලිය පුරා අපරාජිතව ඉදිරියට පැමිණි ශ්‍රී ලංකාව හෙට මුහුණ දෙන්නේ එහි තීරණාත්මකම තරගයටයි. 2018 අවසන් වරට පැවැති තරගාවලියේ ශූරියන් ලෙස අද හොංකොං පරාජය කරමින් අවසන් මහා තරගයට නිර්දේශ ලබා ගැනීම හැරෙන්නට ශ්‍රී ලංකාවට සිය අභිමානය රැක ගැනීමට වෙනත් විකල්පයක් ඉතිරි වී නැත.

ඒ සඳහා දැඩි අදිටනින් යුතුව ශ්‍රී ලංකා කණ්ඩායම එරීනා ක්‍රීඩා සංකීර්ණයේ දී පෙර පුහුණුවීම් වල නිරතව සිටියේය.පස් වරක් ම ආසියානු කුසලාන දිනා සිටින ශ්‍රී ලංකාවට හෙට අවසන් පූර්ව තරගය ජය ගැනීමෙන් පමණක් 6 වැනි වතාවටත් කුසලාන දිනා ගැනීම කෙරෙහි අපේක්ෂා තබා ගත හැකිය.

කෙසේ වුවත් ශ්‍රී ලංකාව ඊයේ (8) පැවැති දෙවැනි වටයේ තරගයේදි හොංකොං ලකුණු 62-51 පරාජය කිරීමෙන් අද දෙවැනි වරටත් තරඟාවලියේ  ඔවුන් මුණ ගැසීමේ දී යම් අස්වැසිල්ලක් ලබා තිබෙන බව පෙනේ.

එහෙත් එම තරගයේ අවසන් භාගයේ දී තෙවැනි වටය පෙරමුණ ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට අනපේක්ෂිත තර්ජනයක් ගෙන දීමට හොංකොං ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ හේතුවෙන් හෙට තරගයේදි හොංකොං කණ්ඩායමෙන් දැවැන්ත පීඩනයක් ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වීමේ ප්‍රවණතා බැහැර කළ නොහැකිය.
 
හොංකොං හෙට ශ්‍රී ලංකාව පරාජයට පත් කළහොත් ඔවුන්  1993 තරගාවලියෙන් පසුව එහි අවසන් මහා තරඟයකට සුදුසුකම් ලබන පළමු අවස්ථාව බවට එය පත්වනු ඇත.

එපමණක්ද නොව හොංකොං 1993 අවසන් වරට අවසන් මහා තරගයකට තේරීමේදී මෙතෙක් කුසලාන දිනා ගත් එකම අවස්ථාව ලෙසත් මෙය ඉතිහාසයට එක්ව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා ගයාංජලි  අමරවංශ අවසන් පූර්ව තරගය පිළිබඳව ලංකාදීපයට පැවසුවේ ”නියත ජයග්‍රහණයක් ලබා ගැනීමට සැලසුම් සකස් කර අවසන් බවයි. තරඟාවලියේ එක දිගට මෙතෙක් පවත්වාගෙන ආ අපේ කණ්ඩායමේ අපරාජිත බව හෙට අප තවදුරටත් ආරක්ෂා කරගන්නවා‘ යයිද ඇය පැවසුවාය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය හයිසින්ත් විජේසිංහ මහත්මිය පැවසුවේ හෙට තරග ජයග්‍රහණය හැරෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට වෙනත් විකල්පයක් ඉතිරි වී නැති බවයි.

ඇය ලංකාදීපයට මෙසේද පැවසුවාය ”දක්ෂතා අතර සිටින වඩාත් විශ්වාසවන්ත ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායම හෙට අපි පිටියට බස්සනවා. මොකද මේ තරඟයේ ජයග්‍රහණයම මිසක අපට තරඟාවලියේ තවදුරටත් රැඳෙන්න වෙනත් කිසිදු විකල්පයක් ඉතිරි වී නැති නිසා.”

මේ අතර ගියවර අනුශූරියන් වන සිංගප්පූරුව හෙට පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේ දී මලයාසියාව පරාජය කිරීමේ අභියෝගයට මුහුණ දී සිටී.එහෙත් පෙරේදා පැවැති දෙවැනි වටයේ තරගයේදී ඔවුන් වෙතින් මලයාසියාව ලකුණු 56-43ක පරාජයක් ලැබීය.

මලයාසියාව   ගියවර තරගාවලියේ තෙවැනි ස්ථානය ලැබීය. හෙට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන අවසන් පූර්ව තරගය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හොංකොං; කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඩියෝන් ටී වුහයි මහතා ශ්‍රී ලංකාව පරාජය කිරීම සිය එකම අරමුණ බවත් එය හෙට ඉටු කර ගැනීමට සිය කණ්ඩායමට හැකියාව ලැබෙනු ඇති බවත් සිය විශ්වාසය යැයි ද පැවසීය.

12 වැනි ආසියානු  දැල් පන්දු තරගාවලියේ අවසන් මහා තරගය හෙට ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු2.30  පැවැත්වේ. එය සිංගප්පූරුවේ වේලාවෙන් පස්වරු 5 ට ආරම්භ වේ. මේ අවසන් පූර්ව වටයේ පරාජිතයන් අතර තෙවැනි ස්ථානය තේරීමේ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.30 ට ය.


අදහස් (0)

ශ්‍රී ලංකාවට හෙට තීරණාත්මකයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.