Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවේ 6 ක් අවසන් වටයට එති

ශ්‍රී ලංකාවේ 6 ක් අවසන් වටයට එති

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

අනුෂා කොඩිතුවක්කුගෙන්, චීන තායිපේ ක‍්‍රීඩිකාවට වේගවත් පහරක්...

 

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන ‘ලයන්ස් කුසලාන’ ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ අද (30 වැනිදා) පැවැති අවසන් පූර්ව වටයේ තරගවලදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වන අනුරුද්ධ රත්නායක, දිනේෂ් සපරමාදු, අනුරුද්ධ ගුණතිලක සහ අනූෂා කොඩිතුවක්කු අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වූහ.

තරගාවලියේ ඊයේ පස්වරුවේ අවසන් පූර්ව තරග අවසන් වන විට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ හය දෙනකු අවසන් වටයට සුදුසුකම් ලබා සිටියහ. අවසන් මහ තරග අනිද්දා (02) කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදීම පැවැත්වේ.
 
ෆ්ලයි බර පංතියෙන් (කි. ග‍්‍රෑ. 52) තරග වැදුනු ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායක අනුරුද්ධ රත්නායක අවසන් පූර්ව වටයේදී කෙන්යාවේ සිමන් මුලිංගේ පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර එහිදී ඔහු පිලිපීනයේ ක්ලාර්ක් බියුටිස්ටා සමගින් තරග වැදීමට නියමිතය.

ක්ලාර්ක් බියුටිස්ටා අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා ‘බී’ කණ්ඩායමේ නායක සුරේෂ් පට්ටිආරච්චි පරාජය කරමින් අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේය.

ලයිට් බර පංතියේ (කි. ග‍්‍රෑ. 60) අවසන් පූර්ව තරගවලදී ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් වන දිනේෂ් සපරමාදු සහ අනුරුද්ධ ගුණතිලක ජය ලබමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම ඊයේ දිනයේ සුවිශේෂී සිදුවීමක් විය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කළ දිනේෂ් සපරමාදු, සිංගප්පූරු කී‍්‍රඩක මුහම්මද් රිධ්වාන් පරාජය කරමින් ද, ශ්‍රී ලංකා ‘බී’ කණ්ඩායම නියෝජනය කළ අනුරුද්ධ ගුණතිලක, බෙල්ජියම් කී‍්‍රඩක මිකෝ ඛට්චටි‍්‍රයන් පරාජය කරමින් ද, අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

කාන්තා අවසන් පූර්ව තරග වලට සහභාගි වූ ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන්ගෙන් අනූෂා කොඩිතුවක්කු පමණක් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූවාය. සෙසු කිසිඳු ක‍්‍රීඩිකාවකට අවසන් මහ වටයට සුදුසුකම් ලැබීමට නොහැකි වීම කැපී පෙනුණි.

ෆ්ලයි බර පංතියෙන් (කි. ග‍්‍රෑ. 48-51) තරග වැදුන අනූෂා එහි අවසන් වටයේදී තායිලන්තයේ සොපිඩා සතුරම් සමගින් තරග වැදීමට නියමිතය. සොපිඩා සතුරම් අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේ ඉතා තියුණු තරගයකින් අනතුරව ශ්‍රී ලංකාවේ ගිම්හානි ද සිල්වා පරාජය කරමිනි.

අවසන් පූර්ව වටයේදී බැන්ටම් බර පංතියෙන් (කි. ග‍්‍රෑ. 56) තරග වැදුන තවත් ප‍්‍රබල කී‍්‍රඩකයන් දෙදෙනකු වන මංජු වන්නිආරච්චි සහ ගයාන් ජයවීර පිළිවෙළින් පිලිපීන සහ චීන තායිපේ කී‍්‍රඩකයන් දෙදෙනකු හමුවේ පරාජයට පත්වීමෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූහ.

මිඞ්ල් බර පංතියෙන් (කි. ග‍්‍රෑ. 75) තරග වැදුන සේනාංග නවරත්නට සහ දිවාරත්න මල්ලවාරච්චිට ද එම ඉරණමම අත්වූ අතර ඔවුහු පිළිවෙළින්  ඕස්ටේ‍්‍රලියානු සහ චීන තායිපේ කී‍්‍රඩකයන් හමුවේ පරාජයට පත්වූහ.

ඊයේ (29 වැනිදා) පැවති තවත් අවසන් පූර්ව තරගයකදී ලයිට් ෆ්ලයි බර පංතියෙන් (කි. ග‍්‍රෑ. 49) තරග වැදුන ශ්‍රී ලංකාවේ ගයාන් මධුෂාන් සහ මලිත් ප‍්‍රභාෂ්වරද එම බර පංතියේ  අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ.  


අද (30) දිනයේදී ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සහභාගීවූ තරග වල ප‍්‍රතිඵල

ෆ්ලයි බර පංතියේ (කි. ග‍්‍රෑ. 52) අවසන් පූර්ව වටය (පිරිමි)

  • අනුරුද්ධ රත්නායක (ශ්‍රී ලංකාව) විසින් සිමන් මුලිංගේ (කෙන්යාව) පරාජය කරන ලදී.
  • ක්ලාර්ක් බියුටිස්ටා (පිලිපීනය) විසින් සුරේෂ් පට්ටිආරච්චි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදී.

බැන්ටම් බර පංතියේ (කි. ග‍්‍රෑ. 56) අවසන් පූර්ව වටය (පිරිමි)

  • මාරියෝ ෆර්නෑන්ඩස් (පිලිපීනය) විසින් මංජු වන්නිආරච්චි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදී.
  • යූචේ ලි (චීන තායිපේ) විසින් ගයාන් ජයවීර (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදී.

ලයිට් බර පංතියේ (කි. ග‍්‍රෑ. 60) අවසන් පූර්ව වටය (පිරිමි)

  • දිනේෂ් සපරමාදු (ශ්‍රී ලංකාව) විසින් මුහම්මද් රිධ්වාන් (සිංගප්පූරුව) පරාජය කරන ලදී.
  • අනුරුද්ධ ගුණතිලක (ශ්‍රී ලංකාව) විසින් මිකෝ ඛට්චටි‍්‍රයන් (බෙල්ජියම) පරාජය කරන ලදී.

මිඞ්ල් බර පංතියේ (කි. ග‍්‍රෑ. 75) අවසන් පූර්ව වටය (පිරිමි)

  • ඩැනියල් එමරි ( ඕස්ටේ‍්‍රලියාව) විසින් සේනාංග නවරත්න (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදී.
  • යූටින් යැං (චීන තායිපේ) විසින් දිවාරත්න මල්ලවාරච්චිගේ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදී.

ෆ්ලයි බර පංතියේ (කි. ග‍්‍රෑ. 48-51) අවසන් පූර්ව වටය (කාන්තා)

  • අනූෂා කොඩිතුවක්කු (ශ්‍රී ලංකාව) විසින් යූටින් ලිං (චීන තායිපේ) පරාජය කරන ලදී.
  • සොපිඩා සතුරම් (තායිලන්තය) විසින් ගිම්හානි ද සිල්වා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදී.

මිඞ්ල් බර පංතියේ (කි. ග‍්‍රෑ. 69-75) අවසන් පූර්ව වටය (කාන්තා)

  • සුයෙවොන් චියෝයි (කොරියාව) විසින් ශිරෝමාලා වීරරත්න (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදී.
  • ෆ්ලෝරා ශේන් (චීන තායිපේ) විසින් ශෂිකලා චන්ද්‍රසේකර (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදී.

 

ඡායාරූපය - ශාන්ත රත්නායක


අදහස් (0)

ශ්‍රී ලංකාවේ 6 ක් අවසන් වටයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.