Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවේ උත්සාහයට වැස්ස හරස් වෙයි

ශ්‍රී ලංකාවේ උත්සාහයට වැස්ස හරස් වෙයි

Nisanka Sandeepani - 2018 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රෙග් බ්‍රැත්වෙයිට් කොදෙව් පිල වෙනුවෙන් හුදෙකළා සටනක නිරතව සිටියදී වර්ෂාව ඔහුගේ සහායට පැමිණි හෙයින් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ශාන්ත ලුසියාහිදී ඩැරන් සැමී ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 296 ක ඉලක්කයක් කරා යාමේදී ලකුණු 64 කට කඩුලු 4 ක් බිඳ වැටීමෙන් කොදෙව්වෝ අමාරුවේ වැටුණහ. එහෙත් වරින් වර වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 5 ක් රැකගෙන ලකුණු 147 ක් ලබාගැනීමට කොදෙව්වෝ සමත් වූහ. මේ අතරවාරයේදී සටන්කාමී පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ කොදෙව් පිතිකරුවන්ට මහත් අපහසුතා ගෙන දුන්හ. 

සිව්වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසුව කොදෙව් පිල මහත් අසීරු තත්ත්වයකට මුහුණ දී සිටි නමුත් ඒ වන විට තුවාල ලබා ක්‍රීඩාගාරයට ගොස් සිටි ෂායි හෝප් යළිත් පිටියට පැමිණ බ්‍රැත්වෙයිට්ට එකතු විය. දෙදෙනා එක්ව ලකුණු සංඛ්‍යාව 117 දක්වා ඉහළ දැමීමෙන් පසුව සුරංග ලක්මාල්ගේ පන්දුවකින් ෂායි හෝප් දැවී ගිය නමුත් වර්ෂාවේ සහාය ඇතිව තරගය බේරා ගැනීමේ ඉසව්වකට කොදෙව්වෝ සේන්දු වී සිටියහ. 

ළහිරු කුමාරගේ පන්දුවක් වැදීම නිසා කොදෙව් නායකයා බිම ඇද වැටුණද තරගය පරාජයෙන් බේරාගත් ඔහු තරගාවලියද පරාජයෙන් බේරාගත්තේය. පළමු තරගයේදී ලකුණු 226 ක ජයක් ලබාගත් කොදෙව් පිල මෙම තරගය පරාජය වූයේ නම් තරගාවලිය සමකිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට හිමිවනවා පමණක් නොව තවත් තරගයක් ඉතිරිව තිබෙන හෙයන් තරගාවලිය පරාජය වීමේ අවදානමකටද මුහුණ දෙයි. 

කෙසේ වෙතත් දැන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරිව ඇත්තේ සෝබර්ස් - තිසේරා කුසලාන තරගාවලිය සමකර ගැනීම පමණි. එහෙත් ඒ සඳහා ලබන 23 වැනිදා බි්‍රජ්ටවුන්හිදී ආරම්භ වන දිවා/රාත්‍රී ටෙස්ට් තරගය ජයගත යුතුව තිබේ. 

තරගයේ අවසන් දින පෙරවරුවේදී කඩුලු දෙකක් අතැතිව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට පිටියේ රැඳී සිටිය හැකිවූයේ විනාඩි කිහිපයක් පමණි. ෂැනන් ගේබි්‍රයෙල් එම කඩුලු දෙකත් තමන් සතුකරගත්තේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී ලකුණු 62 කට කඩුලු 8 ක්  දවාගනිමිනි. මෙම තරගයේදී ගේබි්‍රයෙල් ලකුණු 121 කට කඩුලු 13 ක් දවාගත්තා පමණක් නොව ටෙස්ට් කඩුලු 100 කඩයිමත් පසුකළේය. 

කොදෙව් දෙවැනි ඉනිම ආරම්භ වූ විගසම කසුන් රාජිත වැඩ ඇල්ලුවේය. පළමු ඉනිමේදීත් කඩුලු 3 ක් දවාගත් මෙම ටෙස්ට් කෝඩුකාරයා දෙවැනි ඉනිමේදී පන්දු තුනක් ඇතුළත ඩෙවොන් ස්මිත් සහ කිරන් පවෙල් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට යැවීය. රොස්ටන් චේස් සහ ෂායි හෝප් දෙදෙනාම සුරංග ලක්මාල්ට ගොදුරු වූවත් ශ්‍රී ලංකා පිලේ අරමුණ කරා යාමට කාලය මඳ විය. 

ශ්‍රී ලංකාව සහ කොදෙව් පිල අතර ලබන සෙනසුරාදා ආරම්භ වන තුන්වැනි ටෙස්ට් තරගය සමගම බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ඉතිහාසයේ 90 වැනි සංවත්සරයද ආරම්භ වෙයි. බටහිර ඉන්දීය කොදෙව් පිලේ මංගල ටෙස්ට් තරගය එංගලන්ත පිලට එරෙහිව ආරම්භ වූයේ 1923 ලන්ඩන් නුවර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදීය. යම් හෙයිකින් පන්දුව පළුදු කිරීමේ චෝදනායට දිනේෂ් චන්දිමාල් වැරදිකරු වූයේ නම් ඔහුට සිදුවන්නේ මෙම තරගයේදී නරඹන්නකු වීම පමණි. 


අදහස් (0)

ශ්‍රී ලංකාවේ උත්සාහයට වැස්ස හරස් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.