Last Update  :  2024-11-27 18:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලාංකිකයන් අරමුණක් ඇතුව යන ගමනක්
ටෙස්ට් ලෝක ශූරතාවලිය

ශ්‍රී ලාංකිකයන් අරමුණක් ඇතුව යන ගමනක්

editorial - 2024 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ටෙස්ට් ලෝක ශූරතාවලිය ආරම්භ වූයේ 2019 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයෙනි. එදා මෙදා තුර ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ලෝක ශූරතාවලි තුනකට මුහුණ දුන් නමුත් එහි අවසන් මහ තරගයට අත පොවන මායිමට පැමිණ සිටින්නේ පළමු වැනි වතාවටය. 

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් දකුණු අප්‍රිකාවට ගොස් සිටින්නේ ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තුවෙනි. තරග 2 කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු තරගාවලියේ පළමු වැන්න හෙට (27 වැනිදා) ඩර්බන් නුවරදී ආරම්භ වෙයි. 

“අපි දකුණු අප්‍රිකාවට යන්නේ අරමුණක් ඇතුව.... අපි හොඳට සෙල්ලම් කළොත්, අපිට හොඳ අවස්ථාවක් ලැබේවි” යයි ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පැය කිහිපයකට පෙර පුහුණුකරු සනත් ජයසූරිය මහතා කීවේය. 

දකුණු අප්‍රිකාවේ දේශගුණික තත්ත්වයන්ට හුරුවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ 10 දෙනෙක් පසුගිය 12 වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියහ. නවසීලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලිය අවසන් කිරීමෙන් පසුව ඉතිරි ක්‍රීඩකයෝ 7 දෙනා සමගින් පුහුණුකරු සනත් ජයසූරිය මහතා 22 වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියේය. 

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේදී පැවැත්වී ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 17 කි. ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ ඒවායින් තරග 3 ක් පමණි. එකක් ජය පරාජයෙන් තොරව නිමාවූ අතර අනෙක් තරග 13 ම ජයගනු ලැබ ඇත්තේ දකුණු අප්‍රිකානුවන් විසිනි. 
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් ඉතිහාසය 1993 දක්වා ඈතට ඇදී යන නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමක් පළමු වතාවට දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගයක් ජයගත්තේ 2011 ඩර්බන් නුවරදීය. 

වසර 2016 දී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ගේ ජන්මය අනුව ‘පංගු ක්‍රමය’ හඳුන්වාදීමෙන් පසුව දකුණ අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන 11 දෙනාගෙන් 6 දෙනෙක් අනිවාර්යයෙන්ම සුදු ජාතික නොවන ක්‍රීඩකයන් විය යුතු යයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයට කොන්දේසියක් දමන ලදි. ඒ 6 දෙනා අතුරින් දෙදෙනෙක් අනිවාර්යයෙන්ම කළු අප්‍රිකානුවන් විය යුතු යයිද අතිරේක කොන්දේසියක් ද විය. 

2019 දී දකුණු අප්‍රිකාවට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග දෙකම ජයගනිමින් 2-0 ක ඓතිහාසික තරගාවලි ජයක් අත්කර ගත්තේය. මෙම ජයග්‍රහණයේ වීරයා වූයේ ඩර්බන් නුවරදී නොදැවී ලකුණු 153 ක් ලබාගත් කුසල් ජනිත් පෙරේරාය. කුසල්ගේ එදා ඉනිම ලෝක ටෙස්ට් ඉතිහාසයේ විශිෂ්ටතම ඉනිම ලෙසින් අදටත් සැලකෙයි. එය බොහෝ කරුණු කාරණා සලකා බැලීමෙන් පසුව, සුප්‍රකට ‘ක්‍රික් ඉන්ෆෝ’ වෙබ් අඩවිය විසින් කරන ලද විශ්ලේෂණයකි. 

එදා සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ ලසිත් ඇඹුල්දෙණිය (66/5) සහ විශ්ව ප්‍රනාන්දු (71/4) එක්ව දෙවැනි ඉනිමේදී කළ පන්දු යැවීම නිසා දකුණු අප්‍රිකානුවන්ගේ අවසන් කඩුලු 5 ම ලකුණු 08 ක් තුළ බිඳ වැටිණ. ඓතිහාසික තරගාවලි ජයක ආරම්භය වූයේ එයයි. 

වසර දෙක හමාරකට පසුව ලසිත් ඇඹුල්දෙණිය සංචිතයට කැඳවා ඇත්තේ ප්‍රභාත් ජයසූරියට අස්වැසිල්ලක් ලෙසින් වුවද එහි සියුම් අභියෝගයක් ද තිබේ. කෙසේ වෙතත් ප්‍රභාත් ජයසූරිය සහ නිශාන් පීරිස් දෙදෙනා මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම දඟ පන්දු යවන්නන් දෙදෙනා වනු ඇත. වේග පන්දු යවන්නන්ගෙන් පුරවා දමන ලද ශ්‍රී ලංකා සංචිතයේ අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත සහ මිලාන් රත්නායක සිටිති. 

ඔවුන් අතුරින් විශ්ව ප්‍රනාන්දු යනු ඓතිහාසික 2019 ඩර්බන් ටෙස්ට් තරගයේදී කුසල් ජනිත් පෙරේරා සමගින් එක්ව 10 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක අඛණ්ඩ සම්බන්ධතාවක් පැවැත්වූ ක්‍රීඩකයාය. මිලාන් රත්නායක යනු විශ්වාසය තැබිය හැකි පිතිකරුවකු මෙන්ම ඉතාම හොඳ පන්දු රකින්නෙකි. 

ශ්‍රී ලංකාව මෙන්ම දකුණු අප්‍රිකාවත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය ඉලක්ක කරමින් සිටිති. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවත් (55.56%) පස්වැනි ස්ථානයේ සිටින දකුණු අප්‍රිකාවත් (54.17%) අතර පරතරය 1.39% කි. එබැවින් මෙවර තරගාවලියේ තිීරණය අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය පෙනෙන දුරකට යා හැක්කේ දකුණු අප්‍රිකාවටද නැතහොත් ශ්‍රී ලංකාවට ද යන්න තීරණය වනු නියතය. 

දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන තරග දෙකින් එකක් ජයගෙන, ගාල්ලේදී පැවැත්වෙන ටෙස්ට් තරග දෙකේදීම ඕස්ට්‍රේලියානුවන් අමාරුවේ දැමීමට හැකිනම් එය ශ්‍රී ලංකා කණ්ඩායමට සාධාරණ අවස්ථාවක් විය හැකි නමුත් ඉන්දියානුවන් සහ ඕස්ටේ්‍රලියානුවන් පහසුවෙන් අවතක්සේරු කළ නොහැක. 

පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන ඩර්බන් පිටියේදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරග දෙකක් දිනාගෙන තිබේ. දෙවැන්න පැවැත්වෙන ඛෙබාරාහි (කලින් පෝර්ට් එළිසබෙත්) ශාන්ත ජෝර්ජ් උද්‍යාන පිටියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම 2019 දී ජයගත්තේය. ජොහැන්නස්බර්ග් හෝ නිව්ලන්ඩ්ස් වැනි ක්‍රීඩාංගණ වලට වඩා ඉන්දීය සාගරය පෙනෙන තෙක්මානයේ පිහිටි ඩර්බන් සහ ඛෙබාරා ක්‍රීඩාංගණ දෙකම ශ්‍රී ලංකාවේ දේශගුණික තත්ත්වයන්ට බොහෝ සෙයින් නෑකම් කියයි. 

විශේෂයෙන්ම පසුගිය දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම එක දිගට ලබාගත් ජයග්‍රහණ වල ආශ්වාදය මෙන්ම එයින් ලැබුණු ආත්ම විශ්වාසයත් ඉහළ අගයක තිබේ. මේ පසුබිම අනුව වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ තරගාවලියේ ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තු රඳවාගනිමිනි. 

ඉතිරි ටෙස්ට් තරග 4 න් 3 ක් ජයගැනීමට සමත් වුවහොත් ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු ප්‍රතිශතය 61.00% ක් දක්වා ඉහළ දමාගැනීමට ශ්‍රී ලංකාවට පුළුවන. 


අදහස් (0)

ශ්‍රී ලාංකිකයන් අරමුණක් ඇතුව යන ගමනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.