Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රේණිගත කිරීමේ තරගාවලි 4 ක් ඕනෑ

ශ්‍රේණිගත කිරීමේ තරගාවලි 4 ක් ඕනෑ

ශානුක අරවින්ද - 2020 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වසංගතය නිමාවීමෙන් අනතුරුව මේ වසර තුළදී (2020) අවම වශයෙන් සමස්ථ ලංකා ශේණිගත කිරීමේ තරගාවලි හතරක් වත් පැවැත්වීමට සිදුවන බවද, එසේ නොමැති වුවහොත් ජාතික තරගාවලිය පැවැත්වීමට නොහැකි වීමේ අවදානමක් පවතින බවද ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ ලේකම් චන්දන ශ්‍රීනාත් මහතා පවසයි.

ශ්‍රී ලංකා මේසපන්දු ක්‍රීඩාවේ ඉදිරි සැලසුම් පිළිබඳ ‘ලංකාදීප’ කළ විමසුමකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

“මේ අවුරුද්දට අපි පළවෙනි ශේණිගත කිරීමේ තරගාවලිය තියන්න සැළසුම් කරලා තිබුණෙ අප්‍රේල් මාසෙයි. එත් මේ වසංගතය හින්දා තරගාවලියේ සංවිධායකයන්ට ඒක මැයි මාසෙට කල් දාන්න සිද්ද වුණා. දැන් එය දින නියමයක් නැතුවම කල් දාන්න වෙලා තියෙනවා.” යැයි ඔහු පැවසීය.

වසංගතය හේතුවෙන් කල් දැමීමට සිදුවූ වූයේ මහනුවර නගරාධිපති කුසලාන තරගාවලිය වන අතර සබරගමුව පළාත් මේසපන්දු සංගමයේ සංවිධානයෙන් එය අප්‍රේල් මස 4 වැනිදා සිට 6 වැනිදා දක්වා මහනුවර නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබිණ.

“අපි කලින් සැලුසුම් කරලා තිබුණෙ සැප්තැම්බර් මාසෙ වෙනකොට සියලුම තරගාවලි පවත්වලා ඉවර කරලා, ඔක්තෝබර් මාසෙ ජාතික මේසපන්දු තරගාවලිය පවත්වන්න. ඒත් දැන් ඒ සැලසුම් වෙනස් කරන්න වෙනවා. මොකද අවම වශයෙන් සමස්ථ ලංකා ශ්‍රේණිගත කිරීමේ තරගාවලි හතරක්වත් තියන්නෙ නැතුව ජාතික තරගාවලිය තියන්න බැහැ.” යැයිද ශ්‍රීනාත් මහතා කියා සිටියේය.

මහනුවර නගරාධිපති කුසලාන තරගාවලියට අමතරව අප්‍රේල් මාසයේදී තවත් සමස්ථ ලංකා ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබූ අතර කොළඹ දිස්ත්‍රික් මේසපන්දු සංගමයේ සංවිධානයෙන් එය අප්‍රේල් මස 25 වැනිදා සිට 27 වැනිදා දක්වා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබිණ.

එම තරගාවලි දෙක හැරුණු කොට තවත් සමස්ථ ලංකා ශ්‍රේණිගත කිරීමේ තරගාවලි තුනක් මේ වසරේ මේසපන්දු දින දර්ශනයට ඇතුළත්ව තිබේ.

මහීපාල හේරත් අභියෝග කුසලාන තරගාවලිය ජූනි මස 20 වැනිදා සිට 22 වැනිදා දක්වාද, ටිබාර් මේසපන්දු තරගාවලිය සැප්තැම්බර් මස 5 සහ 6 යන දිනවලදීද, කනක හේරත් අභියෝග කුසලාන තරගාවලිය සැප්තැම්බර් මස 26 සහ 27 යන දිනවලදීද පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජාතික කනිෂ්ඨ මේසපන්දු තරගාවලිය ඔක්තෝබර් මස 24 සහ 25 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ අතර ජාතික මේසපන්දු තරගාවලිය පැවැත්වීමට සැළසුම් කර තිබුණේ ඔක්තෝබර් මස 30 වැනිදා සිට නොවැම්බර් මස 1 වැනිදා දක්වාය.

තත්ත්වය යහපත් අතට හැරුණද නැවතත් මේසපන්දු තරග ආරම්භ කරන ස්ථිර දිනයක් පිළිබඳව සිතීම තරමක් අසීරු කාර්යයක් යැයි ශ්‍රීනාත් මහතා කියා සිටියේය. ජූලි සහ නොවැම්බර් මාසවලදී පාසල්වාර විභාග පැවැත්වීමත්, අගෝස්තු සහ දෙසැම්බර් මාසවලදී පිළිවෙලින් අ.පො.ස (උසස් පෙළ) සහ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාග පැවැත්වීමත් ඊට හේතුවයි.

මේස පන්දු ක්‍රීඩාවේ නිරත වන බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පාසල් වියේ පසුවන්නෝ වෙති. මේස පන්දු ක්‍රීඩාවට අත්‍යවශ්‍ය සාධකයක් වන තියුණු පෙනීම මෙන්ම ක්‍ෂණිකව ක්‍රියාකාරීවීම ඉහළම මට්ටමින් ඇත්තේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතුවය.

“මේසපන්දු ක්‍රීඩාවේ නිරතවෙන හුගක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තවමත් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඒ නිසා අපිට වාර පරීක්ෂණ, උසස් පෙළ, සාමාන්‍ය පෙළ වගේ විභාග තියෙන කොට තරගාවලි පවත්වන්න බැහැ” යයි පැවසූ ශ්‍රීනාත් මහතා....

“සමස්ත ලංකා මේසපන්දු තරගාවලියකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කට වඩා සහභාගි වෙනවා. ඔවුන් සියලුම දෙනා එකම ක්‍රීඩාංගණයක් තුළ තමා තරග වදින්නේ. මේ කරුණු එක්ක බලනකොට නැවත තරග ආරම්භ කරනවා කියන්නෙ ඉතාම අසීරු කාර්යයක්” යැයිද පැවසීය.

මේ අතර ලොව පුරා කොවිඞ්-19 වයිරසය පැතිරයෑම හේතුවෙන් ලෝක මේසපන්දු ශූරතාවලිය (මාර්තු 22 සිට 29 දක්වා - කොරියාවේදී), ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීමේ ආසියානු තරගාවලිය (අප්‍රේල් 6 සිට 12 දක්වා - තායිලන්තයේදී), දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලිය (අප්‍රේල් 17 සිට 19 දක්වා - බංග්ලාදේශයේදී) සහ දකුණු ආසියානු මේසපන්දු තරගාවලිය (මැයි 2 සිට 10 දක්වා - පාකිස්තානයේදී) ද කල් දමා තිබේ.

එම තරගාවලි හතරටම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවීමට මේසපන්දු සංගමය සූදානමින් සිටි බව පැවසූ ශ්‍රීනාත් මහතා, ලෝක මේසපන්දු ශූරතාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තෝරාගෙන සිටි බවද සඳහන් කළේය.

චමීර ගිණිගේ, සෙනුර සිල්වා, නිර්මල ජයසිංහ, මිලින්ත ලක්ෂිත සහ රොහාන් සිරිසේන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමටත්, ඉෂාරා මධුරංගි, බිමන්දි බණ්ඩාර, එරන්දි වරුසවිතාන, හංසනී පියුමිලා සහ ජිතාරා වර්ණකුලසූරිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමටත් ඇතුළත්ව සිටි බවද පැවසීය.

පළමුව ජුනි 25 වැනිදා කල් දැමුණ ලෝක මේසපන්දු ශූරතාවලිය යළිත් වරක් සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට ලෝක මේසපන්දු සම්මේලනය පියවර ගෙන ඇතැයි එහි නිල වෙබ් අඩවියේ සඳහන් වේ. ඔලිම්පික් තරගාවලිය ලබන වසර (2021) දක්වා කල් දැමීම හේතුවෙන් ඊට සුදුසුකම් ලබාගැනීමේ ආසියානු තරගාවලියද ලබන වසරේදී පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ.


අදහස් (0)

ශ්‍රේණිගත කිරීමේ තරගාවලි 4 ක් ඕනෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.