Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළ නැඟීම අපේක්‍ෂාවයි
ඉන්දීය සංචාරය

ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළ නැඟීම අපේක්‍ෂාවයි

editorial - 2022 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

එක්දින අන්තර්ජාතික සහ විස්සයි-20 ශ්‍රේණිගත කිරීම් අතරේ ඉහළ නැඟීම සීමිත ඕවර තරගාවලි දෙකක් සඳහා අද (31 වැනිදා) ඉන්දියාව බලා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අපේක්‍ෂාව වී තිබේ. වසර 2015 ආසන්නයේදී විස්සයි-20 ශ්‍රේණිගත කිරීම් අතරේ අංක එකේ කණ්ඩායම වුවද ශ්‍රී ලංකාව අද වන විට විස්සයි-20 ශ්‍රේණිගත කිරීම් අතරේ මෙන්ම එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේත් 8 වැනි ස්ථානය දක්වා පහත වැටී සිටී.

2021 ජනවාරියේදී එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ 8 වැනි තැනට ඇද වැටුණු ශ්‍රී ලංකාව 2021 ජූලි මාසය වන විට 9 වැනි ස්ථානයට වැටිණ. එහෙත් 2022 අගෝස්තුවේදී ඕස්ටේ්‍රලියාව හමුවේ ලබාගත් එක්දින තරගාවලි ජයත් සමගින් නැවත වරක් 8 වැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකාවට එතැනින් ඉහළ නැගීම අසීරු අභියෝගයක් වූයේය.

අනෙක් අතට ඉන්දු - ලංකා ක්‍රිකට් ඉතිහාසය පුරාම, ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දියාවේදී පැවැති ද්විපාර්ශ්වික එක්දින හෝ විස්සයි-20 තරගාවලියක් ජයගෙන නැත. එහෙත් රෝහිත් ෂර්මා, විරාට් කෝලි සහ රිෂාබ් පන්ට් නොමැති ඉන්දීය කණ්ඩායම මේ වන විට කිසියම් පරිවර්තන යුගයකට මුහුණ දී සිටින බැවින් මෙවර ඉන්දීය සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එම අවස්ථාව උදාකරගැනීමේ කිසියම් ඉඩක් තිබෙන්නට පුළුවන.

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමක්, ඉන්දියාවේදී ඉන්දියාව පරාජය කිරීමට ඉතාම ආසන්න වූයේ 2009 දී දෙපිලම තරගයක් බැගින් ජයගත් අවස්ථාවේදීය. එතැනින් ඔබ්බට ඉන්දියාවේදී පැවැති විස්සයි-20 තරගාවලි හතරම ශ්‍රී ලංකාව පරාජය විය. පසුගිය පෙබරවාරියේදී ලද 3-0 පරාජය එහි අවසන් තරගාවලිය විය.

ඉන්දියාවේදී පැවැති එක්දින තරගවලදී ශ්‍රී ලංකා පිලේ හොඳම දක්ෂතාව වන්නේ 1997 දී ඉන්දීය නිදහස් කුසලානය දිනාගැනීමයි. එහෙත් එය ද්විපාර්ශ්වික තරගාවලියක් නොව, ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාව, පාකිස්තානය සහ නවසීලන්තයත් සහභාගි වූ ආරාධිත තරගාවලියකි. ද්විපාර්ශ්වික තරග වලදී ශ්‍රී ලංකාව පරාජය නොවූයේ 1997 දී පැවැති එක්දින තරගාවලියයි. එය 1-1 ක් ලෙසින් සම වූවද, ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේදී ද්විපාර්ශ්වික එක්දින තරගාවලියක් ජයගැනීමට ගත් උත්සාහයන් 9 ක් අසාර්ථක වී තිබේ.

කේසේ වෙතත් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ලෝක කුසලාන සුපිරි ලීගයට ඇතුළත් නොවේ. ලෝක කුසලාන සුපිරි ලීගයේදී ශ්‍රී ලංකාවට ඉතිරිව ඇත්තේ තවත් එකම තරගාවලියකි. එය ලබන මාර්තු මාසයේදී නවසිලන්තයට එරෙහිව නවසීලන්තයේදී පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියයි.

 - 213


අදහස් (0)

ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළ නැඟීම අපේක්‍ෂාවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.