Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශාන්ත පීතර - ඉසිපතන තීර්ණාත්මක ගැටුම හෙට
අන්තර් පාසල් රග්බි

ශාන්ත පීතර - ඉසිපතන තීර්ණාත්මක ගැටුම හෙට

editorial - 2024 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පළමු කොටසේ අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායම තීරණය කෙරෙන තීර්ණාමත්මක තරගය කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජ රග්බි ක්‍රීඩාංගණයේදී හෙට (17 වැනිදා) පස්වරු 4.15 ට ආරම්භ වීමට නියමිතය. ලීග් රග්බි තරගාවලියට අවසන් මහ තරගයක් නොතිබුණද, මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායම මෙවර තරගාවලියේ ශූරයන් බවට පත්වන බැවින් මෙය අවසන් මහ තරගයක ස්වරූපයක් ගනු ඇත. 

මෙම කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ තරග 8 කට බැගින් සහභාගි වී එම තරග 8 න්ම ජය ලබා අපරාජිතව සිටියි. එබැවින් මෙම තරගය අපරාජිතයන්ගේ සටනක් ලෙසද හැඳින්විය හැකි අතර ඉන් ජයගන්නා කණ්ඩායම සිය අපරාජිත බව රැකගනිමින් සහ ප්‍රතිවාදී කණ්ඩායමේ අපරාජිත බව බිඳදමමින් තරගාවලියේ ශූරතාවට හිමිකම් කියනු ඇත. 

සහභාගි වූ තරග 8 දී ප්‍රසාද ලකුණු 8 ක් හිමිකර ගැනීමට සමත්වීම හේතුවෙන් ශාන්ත පීතර විදුහල මේ වන විට ලකුණු 48 කට හිමිකම් කියයි. එහෙත් එහිදී ප්‍රසාද ලකුණු 4 ක් පමණක් හිමිකර ගැනීමට සමත් වූ ඉසිපතන විදුහල මේ වන විට ලබා සිටින ලකුණු සංඛ්‍යාව 44 කි. ඒ අනුව මෙම තරගයට පෙර ඉසිපතන විදුහල ශාන්ත පීතර විදුහලට වඩා ලකුණු 4 ක් පසුපසින් සිටියි. 

තරගයක් ජයගැනීම වෙනුවෙන් කණ්ඩායමකට ලකුණු 5 ක් හිමිවන අතර තරගයක් සම වුවහොත් කණ්ඩායම් දෙකට ලකුණු 3 බැගින් හිමිවනු ඇත. ඒ අනුව මෙම තරගය ජයගැනීමට ශාන්ත පිතර විදුහල සමත් වුවහොත් හෝ එය ලකුණු සම වීමෙන් අවසන් වුවහොත් ශාන්ත පීතරයන් මෙවර තරගාවලියේ ශූරයන් ලෙස කිරුළු පළදිනු ඇත. 

ඉසිපතන විදුහලට තරගාවලියේ ශූරතාවට හිමිකම් කීමට නම් මෙම තරගය ප්‍රසාද ලකුණද සමග ජයගත යුතු අතර ඔවුන් ප්‍රසාද ලකුණ නොමැතිව ජය ලබන්නේ නම් ශාන්ත පීතර විදුහලටද ප්‍රසාද ලකුණු ලබාගැනීමට ඉඩ ලබා නොදිය යුතුය. ඒ මක් නිසාද යත් ඉසිපතන විදුහල ප්‍රසාද ලකුණ නොමැතිව මෙම තරගය ජය ගෙන, ශාන්ත පීතර විදුහල ප්‍රසාද ලකුණ ලබා තරගය පරාජය වුවහොත් ලකුණු 49 බැගින් දෙපිලේම ලකුණු සමාන වනු ඇත. 

ලීග් රග්බි තරග නීති රීතිවලට අනුව එවැනි අවස්ථාවකදී කණ්ඩායම් දෙක අතර පැවැති තරගයේ ජයග්‍රාහකයා තරගාවලියේ ජයග්‍රාහකයා ලෙස නම් කරනු ලැබේ. එබැවින් තරගාවලියේ ශූරයන් බවට පත්වීම සඳහා කණ්ඩායම් දෙකටම ප්‍රමාණවත් තරම් අවස්ථාවන් තිබේ. අවශ්‍ය වන්නේ කෙසේ හෝ මෙම තරගය ජයගැනීම පමණි. 

මින් පෙර පැවැති ලීග් රග්බි තරගාවලිවලදී 13 න් වරක් ඉසිපතන විදුහල ශූරතාවට හිමිකම් කියා ඇති අතර ශාන්ත පීතර විදුහල 5 වරක් ඊට හිමිකම් කියා තිබේ. දෙවිදුහල් අතර මේ දක්වා පාසල් රග්බි තරග 49 ක් පවත්වා ඇති අතර ඉන් තරග 25 ක් ජයගැනීමට ඉසිපතන විදුහලත්, තරග 21 ක් ජයගැනීමට ශාන්ත පීතර විදුහලත් සමත්ව ඇත. තරග 3 ක් ලකුණු සම වීමෙන් නිමාවට පත්ව තිබේ.

 


අදහස් (0)

ශාන්ත පීතර - ඉසිපතන තීර්ණාත්මක ගැටුම හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.