Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍ර ලංකාවට ලකුණු 92 ක පහසු ජයක්

ශී‍්‍ර ලංකාවට ලකුණු 92 ක පහසු ජයක්

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී 161) සහ කුමාර් සංගක්කාර (නොදැවී 105) දෙදෙනාගේ විශිෂ්ට පිතිහරඹය නිසා  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී බංග්ලාදේශ පිල පරාජය කරමින් ලකුණු 92 ක පහසු ජයක් අත්කර ගැනීමට ශී‍්‍ර ලංකා පිලට හැකිවිය. මෙම ජයත් සමගින් ‘ඒ’ කාණ්ඩයේ ප‍්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානය අත්කරගැනීමට ශී‍්‍ර ලංකා සමත් විය.

ලකුණු 333 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ පිල  ඕවර 47 කදී ලකුණු 240 කට දැවී ගියේය. බංග්ලාදේශ පිතිකරුවන්ගේ ගමන මුල සිටම අඩාළ කළ ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ  ඕවර 40 නිමා වන විට ලකුණු 204 කට කඩුලූ 6 ක් බිම දමා ගත්හ.

ඒ වන විටත් බංග්ලාදේශයේ ඉරණම පැහැදිළිව දක්නට තිබූ නමුත් මෙම තරගාවලියේදී ශුද්ධ ලකුණු වේගයත් තීරණාත්මක සාධකයක් වියහැකි බැවින් ඒ පිළිබඳව සිහියේ තබාගෙන බංග්ලාදේශ පිතිකරුවෝ පන්දුවට පහර දුන්හ.

ඉනිමේ දෙවැනි පන්දුවේදීම ලසිත් මාලිංග විසින් යවන ලද පන්දුවකින් ටමීම් ඉක්බාල් දැවී ගියත් 6 වැනි  ඕවරය  වන විට 40 වැනි ලකුණ පුවරුවට එක් කිරීමට අනමුල් හක් සහ සෞම්‍යා සාකර් සමත් වූහ. එහෙත් සාකර්ගේ ඉනිම ලකුණු 25 කින් නවත්වාලීමට සුරංග ලක්මාල් සහ මහේල සමත් වීමත් සමගම බංග්ලාදේශ පිලේ ධෛර්යය හීන වී ගියේය.

බංග්ලාදේශ පිලේ ඉදිරි පෙළ පිතිකරුවෝ පස් දෙනාම ලකුණු 100 කදී දැවී ගියහ. කණ්ඩායමේ හොඳම පිතිකරුවන් දෙදෙනා වන සකිබ් අල් හසන් සහ මුෂ්ෆිකුර් රහීම් එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් ශී‍්‍ර ලංකාවට තර්ජනයක් විය හැකි සීමාවකට සිය කණ්ඩායම කැඳවාගෙන ඒමට දෙදෙනාම අසමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා පිල පිලේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 210 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ තිලකරත්න ඩිල්ෂාන් සහ කුමාර් සංගක්කාර එක්ව නියමිත  ඕවර 50 නිමා වන විට කඩුල්ලක් දැවී ලකුණු 332 ක් කරා ශී‍්‍ර ලංකා පිල කැඳවාගෙන ගියහ.

බංග්ලාදේශ පන්දු යවන්නන් තඹ සතයකට මායිම් නොකළ ඩිල්ෂාන් සහ සංගක්කාර දෙදෙනා, ශී‍්‍ර ලංකාවේ වසර 40 ක එක්දින තරග ඉතිහාසයේදී දෙවැනි කඩුල්ල වෙනුවෙන් හොඳම සම්බන්ධතාව ගොඩනැංවූවේ පන්දු 150 කට පමණක් මුහුණ දෙමිනි. එහි පැරණි වාර්තාවේ හිමිකරුවන් වූයේත් මෙම පිතිකරුවන් දෙදෙනාමය. ඒ 2012 වසරේදී  ඕසටේ‍්‍රලියාවට එරෙහිව හොබාර්ට්හිදී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 200 ක් රැස්කළ අවස්ථාවේදීය.

තරගයේ 40 වැනි  ඕවරය වන විට කඩුලූ 1 කට 217 ක් දක්වා ලකුණු සංඛ්‍යාව ඉහළ දමාගෙන සිටි මෙම පිතිකරුවන් දෙදෙනා අවසන්  ඕවර 10 දී බංග්ලාදේශ පන්දු යවන්නන්ගෙන් ලකුණු 115 ක් උදුරා ගත්හ.

මෙය ඩිල්ෂාන්ගේ හොඳම එක්දින ඉනිම වන අතර කුමාර් සංගක්කාර මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ලබාගත් එකම එක්දින ශතකයද වෙයි. පන්දු 146 කට මුහුණ දුන් ඩිල්ෂාන් හතරේ පහර 22 කින් සිය ඉනිම සැරසීය.

ලෝක කුසලාන තරගයකදී ශී‍්‍ර ලංකා පිතිකරුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූ, අරවින්ද ද සිල්වා 1996 දී කෙන්යානු පිලට එරෙහිව ලබාගත් ලකුණු 145 පහසුවෙන්ම පසුකර යාමට ඩිල්ෂාන් සමත් වුවද එය ඩිල්ෂාන්ගේ ඉලක්කයක් නොවීය. සිය 21 වැනි එක්දින ශතකය සම්පූර්ණ කළ ඩිල්ෂාන්ගේ උවමනාව වූයේ හැකි තරම් ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එක්කර ගැනීමයි. ඊට හේතුව මෙම තරගයේදී ජීවන් මෙන්ඩිස් වෙනුවට දිනේෂ් චන්දිමාල් කැඳවා ඇති බැවින් කණ්ඩායමේ පන්දු යවන්නකු අඩුවීමයි.

සිය 400 වැනි එක්දින තරගයට කී‍්‍රඩා කළ කුමාර් සංගක්කාර ලකුණු ලබාගැනීම ආරම්භ කළ විගසම ඇග හිරිවට්ටන පහරක් නිදහස් කරමින් ලකුණු 4 ක් ලබාගත්තේ කඩුලූ රකින්නාගේ හිසට ඉහළින් පන්දුව යවමිනි.

ලකුණු 10 දී සිය පිත්ත මාරු කළ සංගක්කාර විශ්වාසනීයත්වයකින් යුතුව පන්දුවට පහර දුන් අතර ලකුණු 23 ක් ලබා සිටියදී දුන් උඩපන්දුවක් පන්දු යැවූ තස්කින් අහමඞ්ගේ දෑත් අතර රැඳී නැවතත් බිම වැටිණ. එතැන් සිට පසුපස නොබැලූ සංගක්කාරගේ පන්දු 76 ඉනිම හතරේ පහර 13 කින සහ හයේ පහරකින් සමන්විත විය.

අති විශිෂ්ට ශතකයක් ලබාගැනීමෙන් නොනැවතී ලකුණු 35 කට කඩුලූ 2 ක් දවාගත් ඩිල්ෂාන් තරගයේ වීරයා සම්මානයද දිනාගත්තේය.

තරග 400 කදී අර්ධ ශතක 93 ක් සහ ශතක 22 ක් ලබාගැනීම මගින් කියැවෙන්නේ සංගක්කාර සිය එක්දින තරග දිවියේදී අවම වශයෙන් තරග 4 කට වරක් වත් ලකුණු 50 සීමාව ඉක්මවා ගිය බවයි. එපමණක් නොව, මෙය සංගක්කාරගේ වේගවත්ම එක්දින ශතකයද විය.

එක්දින තරග 400 ක් කී‍්‍රඩා කිරීමට සමත් වූ ලොව සිවුවැනි කී‍්‍රඩකයා මෙන්ම තුන්වැනි ශී‍්‍ර ලාංකිකයා වන්නේද සංගක්කාරය. සචින් තෙන්ඩුල්කාර් (463), සනත් ජයසූරිය (445), මහේල ජයවර්ධන (444) එක්දින තරග 400 සීමාව පසුකළ සෙසු කී‍්‍රඩකයෝ වෙති.

උඩපන්දු තුනකින් මෙන්ම ස්ටම්ප් කිරීමකින්ද ගැළවුණු ළහිරු තිරිමාන්න තමන්ගේ 12 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනිමින් ඩිල්ෂාන් සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 122 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය. 25 වැනි  ඕවරයේදී මෙම පිතිකරුවන් දෙදෙනා අතර සම්බන්ධතාව බිඳ වැටෙන විට බංග්ලාදේශ පන්දු යවන්නෝ මහත්සේ අධෛර්යයට පත්ව සිටියහ.

ලකුණු පුවරුව

තවත් සේයා රූ


අදහස් (1)

ශී‍්‍ර ලංකාවට ලකුණු 92 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.