Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෂූමාකර් ජවිතයත් මරණයත් අතර සටනක

ෂූමාකර් ජවිතයත් මරණයත් අතර සටනක

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

හිම මත ලිස්සා යාමේ කී‍්‍රඩාවට සහභාගි වෙමින් සිටි ෆෝමියුලා I කාණ්ඩයේ මෝටර් රථ ශූරයකු වන මයිකල් ෂූමාකර් සිය හිසට සිදුවූ තුවාල හේතුවෙන් ජීවිතයත් මරණයක් අතර සටනක නිරතව සිටී. ප‍්‍රංශයේ ඇල්ප්ස් කඳු පන්තියට අයත් ‘මෙරිබල්’ පෙදෙසේදී ඊයේ (29 වැනිදා) ෂූමාකර් මෙම අනතුරට මුහුණ දුන්නේය.

ලෝකයේ වේගයත්ම මෝටර් රථ තරග ලෙසින් සැලකෙන ෆෝමියුලා I කාණ්ඩයේ මෝටර් රථ ලෝක ශූරතාවය හත් වතාවක් දිනාගත් ජර්මන් ජාතික මයිකල් ෂූමාකර් හිම මත ලිස්සා යමින් සිටියදී මුහුණ දුන් අනතුර නිසා ඔහුගේ හිසට බරපතළ තුවාල සිදුවිය. අනතුරින් පසුව ඔහු රෝහල් ගතකළ නමුත් වෛද්‍යවරුන් පවසන්නේ ෂූමාකර්ගේ දිවි බේරාගත හැකිද නැද්ද යන්න පැවසීමට තවමත් කල් මදි බවයි.

”අපට දැනට කිව හැක්කේ ඔහුගේ ජීවිතය අනතුරේ තියෙන බව පමණයි.”යයි ප‍්‍රංශයේ ග්‍රෙනොබ්ල් රෝහලේ වෛද්‍යවරයකු වන ජෝන් ෆ‍්‍රැන්කෝසිස් මහතා ප‍්‍රවෘත්ති සාකච්ඡවකදී පැවසීය.

” ඔහුගේ අනාගතය කොයි වගේ වේවිද කියා අපට දැන්ම කියන්න බෑ. කොහොම වුණත් (ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා) අපි දිවා රාති‍්‍ර නොබලා කටයුතු කරනවා” යයිද වෛද්‍ය ෆ‍්‍රැන්කෝසිස් මහතා පවසීය.

ප‍්‍රංශයේ ඇල්ප්ස් කඳු පන්තියට අයත් නිවාඩු නිකේතනයක නිවාඩුවක් ගතකරමින් සිටියදී හිම මත ලිස්සා යාමට ගිය මයිකල් ෂූමාකර්ගේ හිස පර්වතයක ඇනී තිබේ.

කෙසේ වෙතත් ඔහුගේ ආරක්‍ෂක හිස්වැස්ම නිසා ෂූමාකර්ට යම් තරමක ආරක්‍ෂාවක් ලැබී තිබේ. යම් හෙයකින් ඔහුගේ ආරක්‍ෂක හිස්වැස්ම නොතිබුණේ නම් එම අනතුරේ හැටියට ඔහු රෝහලට පැමිණෙන්නේ නැතැයිද වෛද්‍යවරයා පවසා තිබිණ.  

මයිකල් ෂූමාකර් ජර්මන් ජාතිකයකු වන අතර මෝටර් රථ තරග බිමෙන් සමුගෙන සිටී. එහෙත් ෆෝමියුලා I කාණ්ඩයේ ලෝක ශූරතාව හත් වතාවක් දිනා සිටින බැවින් ෂූමාකර් ලෝකයේ සෑම කොණකම දැඩි අවධානය දිනාගෙන සිටින්නෙකි.

අනතුරින් සුළු වෙලාවකට පසුව ෂූමාකර් සිහි ඇතිව සිටියද පසුව ඔහුගේ තත්ත්වය එන්න එන්නම අයහපත් අතට හැරී තිබේ.

ස්නායු ශල්‍ය විශේෂඥ ස්ටීවන් චැබරේඞ්ස් මහතා පවසන්නේ ඔහුගේ මොළයේ ස්කෑන් පරීක්‍ෂණ දෙකකින්ම හෙළි වූයේ අභ්‍යන්තර ලේ වහනය වීම් සිදුවී තිබෙන බවයි. මෙම අභ්‍යන්තර ලේ වහනය පාලනය කිරීම සඳහා තමන් ශල්‍යකර්මයක් කළ බවද වෛද්‍ය චැබරේඞ්ස් මහතා කියයි.  

මේ වන විට ෂූමාකර් කෘතිම තත්ත්වයන් යටතේ ඉතා දීර්ඝ සිහිසුන් තත්ත්වයකින් සිටින බවද වෛද්‍යවරු කියති. කෙසේ වෙතත් පවතින තත්ත්වය හා සටන් වැද ෂූමාකර් නැවතත් සිහිඑළවා ගත හැකි යයි තමන් බලාපොරොත්තු වන බවද වෛද්‍යවරු පවසති.

මේ අතර ෂූමාකර්ගේ ජීවිතය බේරා ගැනීමට හැකිවේවා යයි ඔහුගේ වෘත්තීය සගයෝ මෙන්ම මෝටර් රථ තරග බිමේදී ඔහුගේ ඉතාම ප‍්‍රබල ප‍්‍රතිවාදියෝද එකසේ ප‍්‍රාර්ථනා කරති.

ෆෝමියුලා I මෝටර් රථ තරග ඉතිහාසයේ ඉතාමත්ම සාර්ථක තරගකරුවා වන මයිකල් ෂූමාකර් ෆෝමියුලා I තරග 91 ක ජය අත්කරගෙන සිටින අතර වසර 20 කට ආසන්න තරග දිවියේදී ලෝක ශූරතා 7 ක් දිනාගෙන තිබේ.

වර්ෂ 1994 දී සිය පළමු මෝටර් රථ ශූරතාව දිනාගත් ෂූමාකර් වසර 2000 සිට 2004 දක්වා පිට පිටම පස්වතාවක් ෆෝමියුලා I කාණ්ඩයේ රියැදුරු ලෝක ශූරතාව දිනාගත්තේය. තරග බිමෙන් සමුගැනීමෙන් පසුව නැවතත් තරග බිමට පිවිසි ෂූමාකර් වසර 3 කට පසුව ඉකුත් වසරේදී මෝටර් රථ තරග බිමෙන් සමුගත්තේය.

දැනට 44 හැවිරිදි වියේ පසුවන ෂූමාකර් සිය බිරිඳ සහ දරු දෙදෙනා සමග ස්විට්සර්ලන්තයේ පදිචිව සිටී.

 


අදහස් (3)

ෂූමාකර් ජවිතයත් මරණයත් අතර සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.