Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සංගක්කාර - අෆ්රීඩි අපේක්‍ෂාවේ බර උසුලති

සංගක්කාර - අෆ්රීඩි අපේක්‍ෂාවේ බර උසුලති

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 9 Comment
A A A

ආසියානු කුසලාන තරගාවලියේ අවස්ථා කිහිපයකදී ඉතාමත් අසීරු අවස්ථාවන්ට මුහුණ දී සිටියදී ශී‍්‍ර ලංකා සහ පාකිස්තානු කණ්ඩායම් ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගිය කුමාර් සංගක්කාර සහ සහීඞ් අෆ්රීඩි දෙදෙනාගේ මුහුණට මුහුණ සටනක් බවට හෙට (8 වැනිදා) පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහ තරගය පත්ව තිබේ. දෙපිලේම අපේක්‍ෂාවන්ගේ බර මෙම පිතිකරුවන් දෙදෙනාගේ උර මත පැටවී තිබේ.

ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ එකම තරගයක් හෝ පරාජය නොවී අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා සිටී. බංග්ලාදේශයට එරෙහිව බංග්ලාදේශයේදී පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියත් 3-0 ක් ලෙසින් ජයගත් හෙයින් ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය අවසන් එක්දින තරග 7 ම ජය ලබා ඉතාමත් ශක්තිමත් තත්ත්වයකින් සිටී.

අවස්ථා කිහිපයකදීම ඉදිරි පෙළ කී‍්‍රඩකයන් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යාම නිසා ශී‍්‍ර ලංකා කණ්ඩායම අමාරුවේ වැටුණු නමුත් පසුපෙළ කී‍්‍රඩකයන් ඉතාමත් ධෛර්වයත්ව තරග කරමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන යාම හේතුවෙන් ශී‍්‍ර ලංකා පිලේ විශ්වාසනීයත්වය ඉතාමත් ඉහළ මට්ටමක පවතී.

මෙවර බංග්ලාදේශයට ගියදා සිටම පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වූ සංගක්කාර ටෙස්ට් තරගාවලියේ ඉනිම 3 කදී පිට පිටම ලකුණු 75, 319 ක් සහ 105 ක් ලබාගත් අතර බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයේදී ලකුණු 128 ක් ලබා ගනිමින් ශී‍්‍ර ලංකා පිල ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියේය.

අනතුරුව පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී තරග තුනකදී සංගක්කාර ශී‍්‍ර ලංකා පිලට ජය මාවත විවර කර දුන්නේ ලකුණු 67 (පාකිස්තානයට එරෙහිව), 103 (ඉන්දියාවට එරෙහිව) සහ 76 (ඇෆ්ගනිස්ථානයට එරෙහිව) රැස්කරමිනි. ආසියානු කුසලාන තරගාවලියේදී වැඩිම ලකුණු ලාභියා වී සිටින සංගක්කාර තරග 4 කදී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 248 කි.

”සංගක්කාර වගේ කී‍්‍රඩකයෙක් මේ වගේ තරගාවලියක මෙහෙම ලකුණු අතර ඉන්න එක වාසනාවක් වගේ දෙයක්. ඒ වුණත් අපි තරගය ජයගන්න නම් අනෙක් පිතිකරුවනුත් තම තමන්ගේ වගකීම බාර ගන්න සූදානම් වෙලා ඉන්න  ඕනේ” යයි ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ඩකා නුවරදී පැවැති පුවත්පත් සාකච්ඡවකදී පැවසීය.

”ඔවුන් පරාජය කරන්න මොන තරම් අසීරු කණ්ඩායමක්ද කියලා පාකිස්තානය මේ වන විටත් පෙන්නුම් කරලා තිබෙනවා. ඒත් අපි අපේ තරග සැලසුම් නිසි පරිදි කි‍්‍රයාත්මක කළොත් තරගය ජය ගන්න පුළුවන් කියන එක අපට විශ්වාසයි” යයිද මැතිව්ස් පැවසීය.

අවසන් වරට පැවැති ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාව දිනා සිටින පාකිස්තානු කණ්ඩායම පළමු තරගයේදී ශී‍්‍ර ලංකා පිල හමුවේ පරාජය වූ නමුත් ඉන් පසුව පැවැති තරග වලදී විශිෂ්ට දස්කම් දක්වමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී පන්දු 18 කින් ලකුණු 34 ක් උදුරා ගත් සහීඞ් අෆ්රීඩි තම පිල ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගිය අතර බංග්ලාදේශ පිලට එරෙහිව තරගයේ ජය පාකිස්තානු පිලට අත්කර දීම සඳහා පන්දු 25 කදී ලකුණු 59 ක් උදුරා ගත්තේ ඇදහිය නොහැකි ආකාරයෙනි.

බංග්ලාදේශයේ ශ්රේ - බංග්ලා ජාතික කී‍්‍රඩාංගණයේ හතරේ සීමාවට ඇති දුර ප‍්‍රමාණය අඩුවීම සහීඞ් අෆ්රීඩිගේ පිතිහරඹයට කදිම වාසියකි. පාකිස්තානු නායක මිස්බා උල් හක් පවසන්නේ අවසන් තරගයේදී අෆ්රීඩිගේ තවත් ලකුණු සංදර්ශනයක් බලාපොරොත්තු විය හැකි බවයි.

”ඔහු තමයි අපේ ප‍්‍රධාන කී‍්‍රඩකයා...ඔහු මේ වන විට ඉන්න තත්ත්වය පාකිස්තානු පිලට ඉතාමත් හොඳයි” යයි මිස්බා උල් හක් කියයි.

”අප ඔහුට කියන්නේ එක දෙයයි. පන්දු 25 ක් 30 ක් පිටියේ රැඳී ඉන්න. එතකොට ඔහුට ලකුණු 50 ක් විතර ලබාගන්න පුළුවන් බව අපගේ විශ්වාසයයි” යයි මිස්බා උල් හක් පැවසීය.

පාකිස්තානු පිලේ ප‍්‍රබල කී‍්‍රඩකයන් වන සකීර් ඛාන්, අෆ්රීඩි, උමාර් ගු-ල්, සර්ජීල් ඛාන් සහ අහමඞ් ෂෙශාඞ් විවිධ ආබාධ වලින් පෙළෙන බව පාකිස්තානු කණ්ඩායම් ආරංචි මාර්ග කියයි. කෙසේ වෙතත් අද පැවැත්වෙන අවසන් තරගය සඳහා ඔවුන් කී‍්‍රඩා කරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ශී‍්‍ර ලංකා දග පන්දු යවන කී‍්‍රඩක අජන්ත මෙන්ඩිස් (9) මෙන්ම පාකිස්තානයේ සයීඞ් අජ්මල්ද (8) තරගාවලියේ වැඩිම කඩුලූ සංඛ්‍යාවක් දවාගත් කී‍්‍රඩකයෝ වෙති. ලසිත් මාලිංග විසින් දවාගන්නා ලද කඩුලූ සංඛ්‍යාව 6 කි.

ලසිත් මාලිංග පවසන්නේ අෆ්රීඩිගේ ප‍්‍රහාරාත්මක පිතිහරඹය තමන්ට පීඩනයක් නොවන බවයි

”මා වඩාත් හිතන්නේ මම පන්දු යැවිය යුත්තේ කොහොමද කියන එක ගැනයි...අෆ්රීඩි ගැන මා හිතන්නේ නෑ වගේම ඔවුන්ද මා ගැන වැඩිදුර කල්පනා කරන බවක් මා හිතන්නේ නෑ” යයි ලසිත් මාලිංග පැවසීය.


අදහස් (9)

සංගක්කාර - අෆ්රීඩි අපේක්‍ෂාවේ බර උසුලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.