Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සංගා එංගලන්තයේ පිතිකරුවන් අතර ඉහළටම

සංගා එංගලන්තයේ පිතිකරුවන් අතර ඉහළටම

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර (2017) එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සමත්වී තිබේ. සරේ ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට සහභාගි වූ සංගක්කාර තරග 9 කදී ඉනිම් 14 ක් තුළ රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 1442 කි.

හතරේ පහර 170 කින් ලබාගත් ලකුණු 680 ක්ද හයේ පහර 13 කින් ලබාගත් ලකුණු 78 ක්ද ඊට ඇතුළත් වී තිබේ. මෙම ලකුණු 1442 රැස්කිරීම සඳහා සංගක්කාර මුහුණදී තිබූ පන්දු සංඛ්‍යාව 2101 කි.

මෙවර තරගවාරයේ ඉහලම ලකුණු රැස්කිරීමේ සාමාන්‍යයකට හිමිකම් කියන ක්‍රීඩකයා වන්නේද සංගක්කාරය. ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය සටහන් වන්නේ 110.92 ක් ලෙසිනි. සංගක්කාරගේ ලකුණු ලබාගැනීමේ වේගය පන්දු 100 කදී ලකුණු 68.63 කි.

මෙවර තරගවාරයේ වැඩිම ශතක ලාභියා ලෙසද සංගක්කාර වාර්තා අතරට එක්ව සිටින අතර ද්විත්ව ශතකයක්ද සමගින් එහිදී ඔහු ලබාගත් ශතක සංඛ්‍යාව 8 කි. මිඞ්ල්සෙක්ස් ප්‍රාන්තයට එරෙහිව ලබාගත් ලකුණු 114 සහ 120, යෝක්ෂයර් ප්‍රාන්තයට එරෙහිව ලබාගත් ලකුණු 164 සහ 180, ලැන්කෂයර් ප්‍රාන්තයට එරෙහිව ලබාගත් ලකුණු 136, වොවික්ෂයර් ප්‍රාන්තයට එරෙහිව ලබාගත් ලකුණු 105, සමර්සෙට් ප්‍රාන්තයට එරෙහිව ලබාගත් ලකුණු 157 සහ එසෙක්ස් ප්‍රාන්තයට එරෙහිව ලබාගත් ලකුණු 200 එම ශතක 8 අතරට ඇතුළත් වේ.

එසෙක්ස් ප්‍රාන්තය මෙවර ප්‍රාන්ත තරගාවලියේ ශූරතාව දිනාගත් කණ්ඩායමයි.

සංගක්කාර එම ශතක 8 න් 5 ක්ම රැස්කළේ පිට පිටම ඉනිම් 5 කදී වන අතර එහිදී පළමු පෙළ ඉනිම් 6 කදී පිට පිටම ශතක 6 ක් ලබාගනිමින් එංගලන්තයේ සී. බී. ෆ්‍රයි පිහිටුවා තිබූ වාර්තාව සම කිරීමට තිබූ අවස්ථාව සංගක්කාර අතින් ගිලිහී ගියේ සිය ඉලක්කයට ලකුණු 16 ක් මෙපිටින් දැවී යාමෙනි.  

එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් ලබා සිටි සංගක්කාරට (200), දෙවැනි ඉනිමේදී ලකුණු 84 ක් ලබා සිටියදී ටොම් වෙස්ලිගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් දැවීයාමත් සමග එම අවස්ථාව අහිමිවී ගියේය.

1901 වසරේ පැවැති පළමු පෙළ ඉනිම් 6 කදී පිට පිට ශතක 6 ක් ලබාගනිමින් එංගලන්ත ක්‍රීඩක සී. බී. ෆ්‍රයි එම වාර්තාව පිහිටුවා තිබූ අතර ඉන් පසුව 1938 වසරේදී ඕස්ට්‍රේලියාවේ ශ්‍රීමත් ඩොනල්ඞ් බ්‍රැඞ්මන් විසින්ද, 1970 වසරේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩක මයික් ප්‍රොක්ටර් විසින්ද එම වාර්තාව සම කරනු ලැබූහ.

එහෙත් පළමු පෙළ ඉනිම් 5 කදී පිට පිට ශතක 5 ක් ලබාගැනීමට සමත් වූ ක්‍රීඩකයන් අතලොස්සට එක්වීමට සංගක්කාරට හැකි වූ අතර ඔහුට අමතරව බ්‍රයන් ලාරා (බටහිර ඉන්දීය කොදෙව්) 1993 වසරේදීද, එවර්ටන් වීක්ස් (බටහිර ඉන්දීය කොදෙව්) 1955 වසරේදීද, මයික් හසී (ඕස්ට්‍රේලියාව) 2003 වසරේදීද, පාර්තිව් පතේල් (ඉන්දියාව) 2007 වසරේදීද පළමු පෙළ ඉනිම් 5 කදී පිට පිට ශතක 5 බැගින් ලබා තිබිණ.


- 036

 


අදහස් (0)

සංගා එංගලන්තයේ පිතිකරුවන් අතර ඉහළටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.