Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සංගාට, මහේලට තිළිණය ලෝක කුසලානයක්ද

සංගාට, මහේලට තිළිණය ලෝක කුසලානයක්ද

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 17 Comment
A A A


 

වසර හතක් ඇතුළතදී පැවැති ලෝක කුසලාන තරගාවලි හයකින් 4 කම අවසන් මහ තරග වල කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (6 වැනිදා) බංග්ලාදේශයේ ඩකා අගනුවර සීමාවේ, මීර්පූර්හි පිහිටි ශ්රේ බංග්ලා ජාතික කී‍්‍රඩාංගණයට පිවිසෙන්නේ පස්වැනි වරටත් ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයකට මුහුණ දීමේ අටියෙනි.

මෙම තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රතිවාදීන් වන්නේ අසල්වාසී ඉන්දියාවයි. මේ වතාවේදී නම් ඉන්දියාව හමුවේ ශී‍්‍ර ලංකා කණ්ඩායමට අභියෝග කිහිපයක්ම තිබේ.

ඉන් ප‍්‍රධානතම අභියෝගය වන්නේ පිට පිටම ලෝක කුසලාන අවසන් මහ තරග 4 ක් පරාජය වී සිටින බැවින් එම අපකීර්තිමත් වාර්තාව වෙනස් කිරීමේ අධිෂ්ඨානයයි. දෙවැන්න 2009 දී සහ 2012 දී අත පොවන මායිමේ තිබී ගසාගෙන ගිය විස්සයි:20 ලෝක කුසලානය 2014 දී කෙසේ හෝ ඩැහැගැනීමයි. තුන්වැන්න නම් ඉන්දියනුවන් හමුවේ පරාජය නොවී සිටීමයි.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව බ‍්‍රහස්පතින්දා (3 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගය ජයගැනීමෙන් පසුව එම තරගයේ වීරයා වූ ඇන්ජලෝ මැතිව්ස් අවසන් තරගය සම්බන්ධයෙන් මෙවන් කතාවක් කීවේය.

” ඕනෑවට වඩා දුරදිග හිතන්න ගියොත් අපි අමාරුවේ වැටේවි. අප හිතාගෙන ඉන්නේ එදාටත් පිට්ටනියට ගිහිල්ලා සාමාන්‍ය විදිහට සෙල්ලම් කරන්නයි”
”අප අපේ කී‍්‍රඩාව විනෝදයෙන් කරනවා. දිනන්න පුළුවන් වෙයි කියලා හිතනවා...අවසන් තරගයේදී කවුරුන් ආවත් ඒක අපට ප‍්‍රශ්නයක් නොවෙයි” යයි පැවසූ මැතිව්ස්...
”දිනන්න නම් කාව වුණත් පරාජය කරන්න වෙනවා” යයිද මීර්පූර් කී‍්‍රඩාංගණයේදී පැවසීය.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා ලෙසින් විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියට පැමිණි දිනේෂ් චන්දිමාල් මේ දිනවල පිතිකරුවකු ලෙසින් තමන් මුහුණ දී  සිටින පසුබෑම වටහා ගනිමින් සිය කැමැත්තෙන්ම කණ්ඩායමෙන් ඉවත්වී සිටී. එබැවින් උපනායක ලසිත් මාලිංග කණ්ඩායමේ නායකත්වය බාරගෙන කටයුතු කරන නමුත් ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් සහ ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ලසිත් මාලිංගට අති විශිෂ්ට සහයෝගයක් ලැබෙන බව සක්සුදක් සේ පෙනෙන්නට තිබේ.

කෙසේ වෙතත් පවතින තත්ත්වය තේරුම් ගනිමින් කණ්ඩායමෙන් ඉවත්ව සිටීමට චන්දිමාල් ගත් තීරණය ‘වික‍්‍රමාන්විත පියවරක්’ බවද ඇන්ජලෝ මැතිව්ස් කියයි.
”තමන් කවුරුන් වුණත් කණ්ඩායමේ යහපත වෙනුවෙන් සෑම වෙලාවකදීම කටයුතු කරන්න  ඕනෑ. ඔහු කැමැත්තෙන්ම ඉවත් වුණා. ඔහු ඒ කළ දේ විශිෂ්ටයි. ඔහුට  ඕනෑ කළේ හොඳම 11 දෙනා පිටියට යවන්නයි”

”එය අති විශිෂ්ට තීරණයක් වගේම වික‍්‍රමාන්විත පියවරක්” යයිද මැතිව්ස් අවසන් පූර්ව තරගයෙන් අනතුරුව පැවසීය. චන්දිමාල් වෙනුවෙන් කණ්ඩායමට එක්වූ ළහිරු තිරිමාන්න අගනා ලකුණු 44 ක් ලබාගනිමන් අවසන් පූර්ව තරගයේදී ශී‍්‍ර ලංකා පිලට ජය මාවත විවර කර දුන්නේය.

මෙවන් තත්ත්වයක් යටතේ අද පැවැත්වෙන අවසන් තරගයේදීත් චන්දිමාල් කී‍්‍රඩකයන්ගේ බංකුවේම සිටිය හැකි නමුත් ශී‍්‍ර ලංකා පිතිකරුවන් ලබාගන්නා සෑම ලකුණක් වෙනුවෙන්ද දවාගන්නා සෑම කඩුල්ලක් වෙනුවෙන්ද චන්දිමාල් උද්දාමයෙන් ඉපිළෙනු නිසැකය.

වසර 2012 විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ සිට මේ දක්වා පැවැති වසර දෙකක කාලයේදී ශී‍්‍ර ලංකා වි:20 කණ්ඩායම ලෝකයේ අංක 1 ස්ථානයේ රඳවාගත් නායකයා අනෙකකු නොව දිනේෂ් චන්දිමාල්ම බව කිසිවකුට අමතක කළ නොහැකිය.

බ‍්‍රහස්පතින්දා පැවති අවසන් පූර්ව තරගය වර්ෂාව නිසා පරාජය වන්නට සිදුවීම සම්බන්ධයෙන් කොදෙව් නායක ඩැරන් සැමී අපූරු කතාවක් කීවේය.
”මම මේ පරාජය බාරගන්නේ මේ විදිහටයි..ඔබ දන්නවා, අප ලෝක කුසලානයක් දිනලා තියෙනවා..”

”අප සාමාන්‍යයෙන් දෙවියන්ට යාඥා කරන කණ්ඩායමක්. දෙවියන් අපගේ යාඥාවන්ට කන්දෙනවා. ඒත් මේ වතාවේදීනම්, ශී‍්‍ර ලංකා කණ්ඩායමට විතරක් නොවේ පොදුවේ සමස්ත කි‍්‍රකට් කී‍්‍රඩාවටම මහත් සේවයක් කරපු ඒ මහත්වරුන් දෙන්නා තමන්ගේ අවසාන ලෝක කුසලාන තරගාවලියේදී ඉහළම තැනට ඔසවා තියන්නට, දෙවියන් අදහස් කරන්නට ඇති”

”ඉතින් ඔවුන් දෙදෙනාට ලෝක කුසලානයක් දිනන්නට තවත් තරගයක්  තියෙනවා...බොහෝ වෙලාවට ඒ නිසා වෙන්න ඇති දෙවියන් මේ වෙලාවේ මේ තරගයට අත දැම්මේ” යයි ඩැරන් සැමී පැවසීය.

සැමී එසේ ප‍්‍රකාශ කළේ විස්සයි:20 අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට සූදානම් වන, මේ වන විට ලෝකයේ සිටින ප‍්‍රවීණතම දකුණත් සහ වමත් පිතිකරුවන් දෙදෙනා වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දෙදෙනා ගැනයි.

එබැවින් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ද හෙට සූදානම් වන්නේ තම කණ්ඩායමේ සිටින විශිෂ්ටයන් දෙදෙනාට අපූරු සමුගැනීමේ තිළිණයක් දීමටය. ඒ තිළිණය ලෝක කුසලානයක් නම් ඊටත් වඩා වටිනා වෙනත් යමක් තිබේද?

 


අදහස් (17)

සංගාට, මහේලට තිළිණය ලෝක කුසලානයක්ද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.