Last Update  :  2024-10-21 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සකිබ් අල් හසන් බංග්ලාදේශයෙන් පළායයි

සකිබ් අල් හසන් බංග්ලාදේශයෙන් පළායයි

editorial - 2024 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි : සැකසුම - දමින්ද විජේසූරිය)

සකිබ් අල් හසන් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හිතුවක්කාරයෙකි. නොහික්මුණු තැනැත්තෙකි. එහෙත් බංග්ලාදේශයෙන් බිහිවූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. 

අන්තර්ජාතික තරග රැසකදීම බංග්ලාදේශයේ ජයග්‍රහණයන්ට කර උර දුන් සකිබ් අල් හසන් කලක් තිස්සේ බංග්ලාදේශයේ අසහාය වීරයකුව සිටියේය. බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් (246 ක්) ලබාගෙන සිටින වමත් දඟ පන්දු යවන්නා, පිත්තෙන්  රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 4609 කි. ඊට ශතක 5 ක් ද ඇතුළත් වෙයි. 

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශයේදී පැවැත්වෙන ටෙස්ට් තරග දෙකට ක්‍රීඩා කරමින් අන්තර්ජාතික  ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සකිබ්ගේ බලාපොරොත්තුව විය. එහෙත්  පසුගියදා නිමා වූ ඉන්දීය සංචාරයෙන් පසුව සකිබ් අල් හසන් ගෙදර යාම පසෙක තබා බංග්ලාදේශයෙන් පළා ගොස් තිබේ.

37 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩකයාට මව්බිමෙන් පළා යාමට සිදුවී ඇත්තේ සිය ආරක්‍ෂාව පිළිබඳ ඇති බිය හේතුවෙනි. ඔහු නැවත කවදා බංග්ලාදේශය පැමිණෙනු ඇත්ද යන්න කිසිවකු නොදනී. 

මීර්පූර් නුවරදී දැන් පැවැත්වෙන ටෙස්ට් තරගයේදී සකිබ් අල් හසන් වෙනුවට, වමත් දඟ පන්දු යවන්නා වශයෙන්, හසන් මුරාඩ් කැඳවා තිබේ.  එහෙත් සකිබ් අල් හසන් වැනි ක්‍රීඩකයකුට ආදේශක සෙවීම පහසු නොවේ. 

බංග්ලාදේශයේ දැනට පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් බියක් ඇතැයි සකිබ් අල් හසන් පැවසීය. 

හිටපු ජනාධිපතිනි ෂීක් හසීනා සියාගේ ‘අවාමි ලීග්’ පක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සකිබ් අල් හසන් ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා එල්ල වී තිබේ. 

“බංග්ලාදේශයට ආපහු යන එක ප්‍රශ්නයක් නෙමේ. ඒත් මම එහාට ගියාට පස්සේ බංග්ලාදේශයෙන් යන එක ප්‍රශ්නයක්” යයි සකිබ් අල් හසන් පසුගියදා ඉන්දියාවේ කාන්පූර් නුවරදී මාධ්‍ය නියෝජිතයන් හමුවේ පැවැසීය. 

සකිබ් අල් හසන් වැඩිදුරටත් කියා ඇත්තේ 2025 පෙබරවාරි මාසයේදී පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලිය තමන්ගේ අවසන්  එක්දින තරගාවලිය වන බවයි. 

සකිබ් අල් හසන් බංග්ලාදේශය නියෝජනය කරමින් ක්‍රීඩා කළ අන්තර්ජාතික තරග සංඛ්‍යාව 446 කි. ටෙස්ට් තරග 71 ක්, එක්දින අන්තර්ජාතික තරග 247 ක් සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 129 ක් ඊට ඇතුළත් වෙයි. අන්තර්ජාතික ලකුණු 10,000 ක් සහ අන්තර්ජාතික කඩුලු 500 ක් ඉල්මවා ලබාගෙන සිටින සකිබ්, මෑත කාලයේදී ලෝකයේ බිහිවූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයක්ගෙන් අයකු ලෙසින් සැලකෙයි. 

බංග්ලාදේශයේ ශිෂ්‍ය අරගලය පැවැති සමයේදී නිහඬව සිටීම සම්බන්ධයෙන් සකිබ් අල් හසන් සිය මුහුණු පොතේ සමාව අයැදීමේ පණිවිඩයක් දමා තිබේ. එහෙත් එය ප්‍රමාණවත් නැතැයි වර්තමානයේදී බංග්ලාදේශයේ ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන අසිෆ් මහමුද් මහතා කියයි. 

බංග්ලාදේශයට නැවත නොඑන ලෙද සකිබ්ට අවවාද කළ අයගෙන් අසිෆ් මහමුද් මහතාද කෙනෙකි. සකිබ් අල් හසන් දැනට ඩුබායි රාජ්‍යයේ සිටින බවත් ඔහු  එතැනින් ඇමරිකා එක්සත් ජනපදයට යනු ඇති බවත් බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි. 

පසුගිය අගෝස්තු මාසයේදී බංග්ලාදේශ රජය පෙරළා දමන විට සකිබ් අල් හසන් කැනඩාවේ විස්සයි-20 තරගාවලියකට සහභාගි වෙමින් සිටි අතර ඉන් පසුව නැවතත් සියරට පැමිණියේ නැත. බංග්ලාදේශ ශිෂ්‍ය අරගලයට එවකට පැවැති රජය තදින් පහර දුන් අතර එහිදී ශිෂ්‍යයෝ 700 කට වඩා මියගිය බව බංග්ලාදේශයේ සෞඛ්‍ය බලධාරීහු කියති. 

 


අදහස් (0)

සකිබ් අල් හසන් බංග්ලාදේශයෙන් පළායයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.