Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සන්දීප් - හර්ෂාල් - මිෂ්රා මුම්බායි පිල වනසති

සන්දීප් - හර්ෂාල් - මිෂ්රා මුම්බායි පිල වනසති

Nisanka Sandeepani - 2018 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 55 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (20 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 11 ක ජයක් අත්කර ගැනීමට දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම සමත් විය.

මෙම තරගයේදී ලද පරාජයත් සමග අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවසන් අවස්ථාවත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අහිමි විය. ඒ අනුව ඉකුත් වසරේ (2017) ශූරයන් බවට පත් වූ මුම්බායි කණ්ඩායමට මෙවර තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් නොළබාම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 175 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි කණ්ඩායම ඕවර 19.3 ක් අවසානයේ ලකුණු 163 කට සීමා කිරීමට දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ සන්දීප් ලැමිචානේ, හර්ෂාල් පටේල් සහ අමිත් මිෂ්රා කඩුලු 3 බැගින් දවාගනිමින් මුම්බායි කන්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ බෙන් කටින් පන්දු 20 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 37 ක් රැස්කිරීමට සමත් වුවද, මුම්බායි කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔහුට නොහැකි විය. මුම්බායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ එවින් ලුවිස් පන්දු 31 කදී ලකුණු 48 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 174 ක් ලබාගත් අතර මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින රිෂාබ් පාන්ට් (64) එහිදී සිය 5 වැනි අර්ධ ශතකය ලබාගත්තේය. පන්දු 44 කදී වාර්තා වූ ඔහුගේ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.

ලකුණු 75 කට කඩුලු 3 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී විජේ ශංකර් (නොදැවී 43) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පාන්ට් සමත් විය. පන්දු 30 කට මුහුණදුන් ශංකර් හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසුවේය.  


දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 174
(ග්ලේන් මැක්ස්වෙල් 22, රිෂාබ් පාන්ට් 64, විජේ ශංකර් නොදැවී 43, අභිෂේක් ශර්මා නොදැවී 15)

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 163
(එවින් ලුවිස් 48, හර්දික් පාණ්ඩ්‍යා 27, බෙන් කටින් 37, අමිත් මිෂ්රා 19/3, හර්ෂාල් පටේල් 28/3, සන්දීප් ලැමිචානේ 36/3)

 

- 036 


අදහස් (0)

සන්දීප් - හර්ෂාල් - මිෂ්රා මුම්බායි පිල වනසති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.