Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සෆ්රාස් - ෂෆීක් පාකිස්තානයට බලාපොරොත්තු ගෙනෙති

සෆ්රාස් - ෂෆීක් පාකිස්තානයට බලාපොරොත්තු ගෙනෙති

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (9 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 317 ක ඉලක්කයක් හඹායමින් සිටි පාකිස්තාන කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 198 ක් ලබා සිටියේය. හෙට (10 වැනිදා) තරගයේ අවසන් දිනය වන අතර තරගය ජයගැනීමට නම් පාකිස්තාන කණ්ඩායම හෙට දිනයේදී තවත් ලකුණු 119 ක් රැස්කළ යුතුය. ඒ සඳහා ඔවුන් සතුව ඇත්තේ කඩුලු 5 ක් පමණි.

ලකුණු 52 කට කඩුලු 5 ක් බිඳවැටී අසීරු අඩියකට පත්ව තිබූ පාකිස්තාන ඉනිමට නව ජවයක් ලබාදුන් අසාද් ෂෆීක් (නොදැවී 86) සහ නායක සෆ්රාස් අහමඞ් (නොදැවී 57) හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 146 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පන්දුයවන්නන් වෙහෙසට පත්කරමින් දුර්වල පන්දු පන්දුවලට පමණක් පහරදෙමින් ඉතාමත් ආරක්ෂාකාරී ලෙස ලකුණු රැස්කළ සෆ්රාස් සහ ෂෆීක් පරාජයේ ආගාදයට යමින් සිටි පාකිස්තාන කණ්ඩායමට නැවතත් ජයග්‍රහණයේ බලාපොරොත්තු ඇති කළහ. ෂෆීක්ගේ 19 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 8 කින් සමන්විත වූ අතර සෆ්රාස්ගේ 15 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 4 කින් සමන්විත විය.

තේ පානයෙන් අනතුරුව ලකුණු 17 ක් ලබා සිටි අසාර් අලී පිටියෙන් ඉවත් කිරීමට නුවන් ප්‍රදීප් සමත් වූයේ ෂෝට් ස්ක්වෙයාර් ලෙග්හි පන්දු රකිමින් සිටි කෞෂාල් සිල්වාගේ සහායද ඇතිවය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ඩිල්රුවන් පෙරේරා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ සහාය ඇතිව හාරිස් සොහේල් (10) සහ ශාන් මසූද් (21) පිටියෙන් ඉවත් කළේය. ශාන් මසූද්ගේ දැවීයාමෙන් පසුව පිටියට පිවිසි බාබර් අසාම්, ලකුණු ලබාගැනීමටත් පෙර මුහුණදුන් දෙවැනි පන්දුවේදීම කෞෂාල් සිල්වා අතට උඩ පන්දුවක් දෙමින් ආපසු ක්‍රීඩාගාරය වෙත ගියේ ඩිල්රුවන්ගේ තෙවැනි ගොදුර බවට පත්වෙමිනි.

තේ පානය දක්වා වේග පන්දුයවන්නන් පමණක් යොදා ගනිමින් පාකිස්තාන පිතිකරුවන් පීඩනයට පත්කිරීමට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පියවරගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස ළහිරු ගමගේගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දෙමින් ආරම්භක පිතිකරු සාමි අස්ලම් එක් ලකුණක් පමණක් ලබා සිටියදී දැවී ගියේය.

අසල්ම් දැවීගිය පන්දුවට පන්දු දෙකකට පෙර පැමිණි පන්දුවේදීද ඔහු කුසල් මෙන්ඩිස් අතටම උඩ පන්දුවක් ලබාදුන්නද එය නිපන්දුවක් වූ බැවින් තවදුරටත් ඔහුට කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව හිමිවිය. එහෙත් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ඔහුට ඉඩක් නොලැබුණ අතර ඉන් පන්දු දෙකකට පසුව පාකිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ල බවට පත්වෙමින් ඔහු පිටියෙන් ඉවත්ව ගියේ මුලු ලකුණු සංඛ්‍යාව 5 ක්ව තිබියදීය.

අවසන් කඩුලු 5 ලකුණු 62 ක් තුළ බිඳවැටීම හමුවේ අද තේ පානයට පැය භාගයකට පමණ පෙර ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 96 කට සීමා විය. ලකුණු 41 කට කඩුලු 4 ක් දවාගත් වහබ් රියාස් ප්‍රමුඛ පාකිස්තාන පන්දුයවන්නෝ ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමූහ.

නොදැවී ලකුණු 8 ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් සමගින් අද දිනයේදී ශ්‍රී ලංකා ඉනිම ඇරඹීම සඳහා පිටියට පැමිණි නිරෝෂන් දික්වැල්ල, පළමු ඉනිමේදී මෙන්ම තරමක් වේගයෙන් ලකුණු රැස්කිරීමට උත්සාහ කළේය. එහෙත් පන්දු 21 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 21 ක් ලබා සිටියදී වහබ් රියාස්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක සෆ්රාස් අහමඞ් අතට උඩ පන්දුවක් දීම නිසා ඔහුට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.

දික්වැල්ලගේ දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසි ඩිල්රුවන් පෙරේරාට මුහුණදීමට හැකි වූයේ එක් පන්දුවකට පමණි. මුහුණදුන් පළමු පන්දුවේදීම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ඔහු දැවී ගියේ යෂීර් ෂාගේ දෙවැනි කඩුල්ල බවට පත්වෙමිනි.

ශ්‍රී ලංකා ඉනිමේ 26 වැනි ඕවර යැවීම සඳහා පැමිණි හාරිස් සොහේල් එහිදී පිළිවෙලින් රංගන හේරත් (17), කුසල් මෙන්ඩිස් (29) සහ නුවන් ප්‍රදීප් (00) දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 100 සීමාව ඉක්මවායෑම වලක්වාලීය.

 

- 036

 

ශ්‍රී ලංකා - පාකිස්තානු දෙවැනි ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා...

 


අදහස් (0)

සෆ්රාස් - ෂෆීක් පාකිස්තානයට බලාපොරොත්තු ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.