Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්ටාක් ඉන්දියාව වනසයි
ඇඩිලේඩ් ටෙස්ට් තරගය

ස්ටාක් ඉන්දියාව වනසයි

editorial - 2024 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


පර්ත් නුවරදී ඉන්දීය පන්දු යවන්නන් හමුවේ දණ ගැසූ ඕස්ටේ්‍රලියානුවෝ ඇඩිලේඩ් නුවරදී ඉන්දියානුවන් දණගැස්වූහ. සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ මිචෙල් ස්ටාක් (48/6) ඉන්දීය කණ්ඩායම ලකුණු 180 කට දවාගත්තේය. 

ඇඩිලේඩ් ඕවල් පිටියේදී අද (6 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට ඕස්ට්‍රේලියානුවෝ සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 86 ක් ලබා සිටියහ. පර්ත් නුවරදී ලකුණු 295 ක පරාජයකට මුහුණ දුන් ඕස්ට්‍රේලියානුවෝ මෙම තරගයේ පළමු දිනය නිමාවන විටත් එහි වාසිය මිට මොළවාගෙන සිටියහ. 

මෙම තරගය රෝස පැහැ පන්දුව භාවිතා කෙරෙන දිවා/රාත්‍රී ටෙස්ට් තරගයකි.

ඉන්දීය ඉනිම ආරම්භ වීමත් සමගින් උස්මන් කවාජා ලකුණු 24 කට දවාගැනීමට ජස්ප්‍රීට් බුම්රා සමත් වූයේය. එහෙත් නේතන් මැක්ස්වීනි (නොදැවී 38) සහ මානස් ලැබුෂේන් (නොදැවී 20) එක්ව ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම ලකුණු සංඛ්‍යාව කරා කැඳවාගෙන ගියහ. දෙදෙනා අතර පැවැති ලකුණු 62 සම්බන්ධතාව නිසා කඩුලු 9 ක් අතැතිව සිටින ඕස්ට්‍රේලියානුවන්ගේ අවාසිය ලකුණු 94 ක් දක්වා අඩුවී තිබේ. 

මිචෙල් ස්ටාක්ගේ පළමු පන්දුවම ඔහුගෙන් අපේක්‍ෂා කළ හැකි පන්දු මාලාවේ නිදර්ශනයක් විය. පන්දු යැවීමට පැමිණි අවස්ථා තුනේදීම පළමු ඕවරයේදී මිචෙල් ස්ටාක් කඩුල්ලක් දවාගත්තේය. මේ වනවිට රෝස පැහැ පන්දුවෙන් මිචෙල් ස්ටාක් දවාගෙන සිටින ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 72 කි. එය පැට් කමින්ස්ගේ කඩුලු 36 මෙන් දෙගුණයකි. 

ඉන්දීය පිතිකරු යශස්වී ජයිස්වාල් පර්ත් තරගයේදී ස්ටාක්ට සරදම් කළේ “අයියෝ ඔයාගේ පන්දු එන්නේ හරිම හෙමින්” යයි කියමිනි. එහෙත් අද තරගයේදී මිචෙල් ස්ටාක් හමුවේ යශස්වී ජයස්වාල් මුහුණ දුන් පළමු පන්දුවේදීම දැවී ගියේය. 

පර්ත් තරගයේදී ක්‍රීඩා නොකළ ෂුබ්මන් ගිල් සහ ලෝකේෂ් රාහුල් එක්ව ඉන්දීය ලකුණු සංඛ්‍යාව 69 දක්වා ඉදිරියට ගෙන ගියහ. පන්දු 4 ක් ඇතුළතදී ලෝකේෂ් රාහුල් මෙන්ම විරාට් කෝලියත් දවාගත් වමත් වේග පන්දු යවන්නා, එතැන් සිට එක මිටට ඉන්දීය පිතිකරුවන් ආපසු ක්‍රීඩාගාරයට යැවීය. ලකුණු 103 ක් ඇතුළත ඉන්දීය පිතිකරුවෝ 8 දෙනෙක් දැවී ගියහ. 

ලෝකේෂ් රාහල්ට ආරම්භක පිතිකරුවාගේ ස්ථානය පූජා කරමින් අංක 6 දක්වා පසුබැස ගිය නායක රෝහිත් ෂර්මා ලකුණු 03 කට දැවී ගියේය. එක් අන්තයකින් පිතිකරුවන් එකා පසුපස එකා ක්‍රීඩාගාරයට යද්දී නිතිෂ් කුමාර් රෙඩ්ඩි අනෙක් අන්තයට වී ලකුණු ලබාගත්තේය. ඔහුගේ ලකුණු 42 ට හතරේ පහර 3 ක් සහ හයේ පහර 3 ක් සමන්විත විය. 

ඉන්දියාව - පළමු ඉනිම 180 යි
(ලෝකේෂ් රාහුල් 37, ෂුබ්මන් ගිල් 31, රිෂාබ් පාන්ට් 21, නිතිෂ් කුමාර් රෙඩ්ඩි 42, රවිචන්ද්‍රන් අශ්වින් 22, මිචෙල් ස්ටාක් 48/6, පැට් කමින්ස් 41/2, ස්කොට් බෝලන්ඩ් 54/2)

ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම කඩුලු 1 ට 86 යි
(උස්මන් කවාජා 13, නේතන් මැක්ස්වීනි නොදැවී 38, මානස් ලැබුෂේන් නොදැවී 20)

- 213


අදහස් (0)

ස්ටාක් ඉන්දියාව වනසයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.