Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සැප්තැම්බරයේ විශිෂ්ටතම ක්‍රීඩකයා කමිඳු

සැප්තැම්බරයේ විශිෂ්ටතම ක්‍රීඩකයා කමිඳු

editorial - 2024 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

සැප්තැම්බර් මාසයේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා වශයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ වමත් පිතිකරු කමිඳු මෙන්ඩිස් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සම්මානයට පාත්‍ර වී තිබේ. 2024 වසර තුළදීම, ‘මාසයේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මානය කමිඳු විසින් දිනාගන්නා ලද දෙවැනි අවස්ථාව මෙයයි. 

2024 මාර්තු මාසයේදීත් ඔහු මාසයේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනාගත්තේ බංග්ලාදේශ සංචාරයේදී දැක්වූ දස්කම් හේතුවෙනි. බංග්ලාදේශයේදී ටෙස්ට් ඉනිම 4 කින් ලකුණු 367 ක් ලබාගත් කමිඳුගේ එම සංචාරයේ සාමාන්‍යය ලකුණු 122.33 කි. 

සැප්තැම්බර් මාසයේදී ඉතා හොඳින් දස්කම් අතර සිටි ප්‍රභාත් ජයසූරිය (ටෙස්ට් කඩුලු 19 ක්) සහ ඕස්ටේ්‍රලියානු පිතිකරු ට්‍රැවිස් හෙඩ් පසෙකට තල්ලු කරමින් කමිඳු මෙන්ඩිස් මෙම සම්මානය දිනාගත්තේය. 

එංගලන්ත සංචාරයෙදී පැවැති ටෙස්ට් තරග දෙකක් සහ නවසීලන්තය පිලට එරෙහිව ගාල්ලේදී පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේදීත් විශිෂ්ට දස්කම් දැක්වූ වමත් පිතිකරුවා, ලකුණු 451 ක් ලබාගත්තේය. මෙම කාලය ඇතුළත ඔහුගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 90.20 ක් විය. 

එංගලන්තයට එරෙහිව ලන්ඩන් ඕවල් පිටියේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා මුල් ඉනිමේ කඩුලු 5 ක් ලකුණු 93 ක් ඇතුළත බිඳ වැටිණ. එහෙත් නායක ධනංජය ද සිල්වා සමගින් එක්වූ කමිඳු මෙන්ඩිස් (64) හයවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 127 ක සම්බන්ධතාව නිසා මුල් ඉනිමේ අවාසිය ලකුණු 62 ක් තරම් හීන විය. දෙවැනි ඉනිමේදී එය අකාමකා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවල් ටෙස්ට් තරගය ජයගත්හ. 

නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති ටෙස්ට් තරග දෙකේදී කමිඳුගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 114, 13 සහ නොදැවී 182 ක් වශයෙනි. ඉන් පසුව කමිඳු සහභාගි වූ පළමු වැනි අන්තතර්ජාතික තරගය වූ ශ්‍රී ලංකා - කොදෙව් පළමු විස්සයි-20 තරගයේදීත් හෙතෙම ලකුණු 51 ක් ලබාගත්තේය.  

තවමත් 26 හැවිරිදි වමත් පිතිකරුවා වෙහෙස මහන්සියෙන් පුහුණුවීම් කිරීම පිළිබඳ දැඩිව විශ්වාසය තබා සිටින්නෙකි. ඔහු ඇතැම් දිනවලදී පන්දුවට පහර දීම දෙවතාවක්ම පුහුණුවන්නෙකි. 

“නැවත වරක් මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා සම්මානය දිනාගැනීමට ලැබීම විශාල සතුටක් වගේම ආඩම්බරයක්. මා දැනටමත් හුඟාක් වෙහෙස මහන්සියෙන් පුහුණුවීම් කරනවා. ඒ කරන පුහුණුවීම් නිසාම මේ වගේ දෙයක් ලබාගන්න පුළුවන්  වුණා කියල හිතනවා” 

“මේ වගේ සම්මානයක් ලැබීම නිසා මම දැනට කරන පුහුණුවීම් ගැනත් වැඩි විශ්වාසයක් තියන්න පුළුවන් වගේම මීටත් වඩා දේවල් කරන්න හැකියාව ලැබේවි කියලත් හිතෙනවා. කෝක කළත්, එයින් මගේ කණ්ඩායම දිනවන්න පුළුවන් නම් විශාලතම තෘප්තිය වෙන්නේ ඒක තමයි” යයි සැප්තැම්බර් මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා සම්මානය හිමිවීමෙන් පසුව කමිඳු මෙන්ඩිස් පවසා තිබිණ. 

2024 සැප්තැම්බර් මාසය කමිඳු මෙන්ඩිස්ගේ ක්‍රිකට් දිවියේ සුවිශේෂී මාසයකි. ආරම්භයේ සිටම පිට පිටම ටෙස්ට් තරග 8 කදී අර්ධ ශතක 8 ක් ලබාගත් ලෝකයේ පළමු වැනි ක්‍රීඩකයා වශයෙන් වාර්තා පොතට එක්වූ කමිඳු, වසර 75 කට පසුව, අඩුම ඉනිම සංඛ්‍යාවකින් ටෙස්ට් ලකුණු 1000 ක් ලබාගත් පිතිකරුවා විය. ටෙස්ට් ඉනිම 13 කින් ලකුණු 1000 පසුකිරීම ලොව මෙතෙක් බිහිවූ එකම ‘අසහාය පිතිකරු’ ලෙසින් හැඳින්වෙන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ වාර්තාවක් සම කිරීමකි. 


අදහස් (0)

සැප්තැම්බරයේ විශිෂ්ටතම ක්‍රීඩකයා කමිඳු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.