සී. එච්. ක්‍රීඩකයෝ මහනුවර පිල පාලනය කරගනිති
අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ ආරම්භක තරගයෙන් සී.එච්.ඇන්ඞ් එෆ්.සී.ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 23-6 ක ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත්විය.
කොළඹ තුරඟ තරග පිටියේ අද පස්වරුවේ පැවැති මේ තරගය ආලෝක තත්ත්වය මදිවීම නිසා නියමිත වේලාවට වඩා මිනිත්තු 6කට පෙර නිමාවට පත්වෙද්දී මහනුවර ක්‍රීඩා සමාජය ගෝල් 2 ක් සහ දඬුවම් පහර 3 ක් රැස් කරමින් තරගයේ ජයග්‍රහණය අත්කරගෙන සිටියේය. සී.එච්.පිල ලබා සිටියේ දඬුවම් පහර 2ක් පමණි.
එසේ වුවත් වසර කිහිපයක් තිස්සේ අන්තර් සමාජ රග්බි පිටියේ දුර්වලතම කණ්ඩායම ලෙස ලේබල්ගතව සිටි සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය වෙනදාට උත්සාහක දිනුම් වර්ෂාවකින්ම තෙමා දමන දේශීය රග්බි පිටියේ මුදුනා වන මහනුවර ක්‍රීඩා සමාජයට අද තරගයේදී සුපුරුදු දස්කම් අතරට පිවිසීමට සී.එච්. පිලේ ක්‍රීඩකයන් ඉඩ තැබුවේ නැත.
පසුගිය වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදා පිලට ක්‍රීඩා කළ විශිෂ්ට ක්‍රීඩකයන් රැසකින් ද පාසල් තරග බිමේ දස්කම් පෑ යොවුන් ක්‍රීඩකයන් රැසකින් ද ශක්තිමත්වූ සී.එච්. පිල අභියෝගාත්මක ක්‍රීඩා රටාවක නිරතවීම කැපී පෙනුණි.
තරගයේ 3 වැනි මිනිත්තුවේදී තිළිණ විජේසිංහ මීටර් 40ක දුරකින් දඬුවම් පහරක් සාර්ථක කරමින් මහනුවර පිල ලකුණු 3-0 කින් ඉදිරියට ගෙන යාමෙන් පසුව පැය භාගයක් ගතවනතුරු ලකුණු සංඛ්‍යාව ඉහළ දමාගැනීමට සී.එච්.පිල ඉඩ නොදුන්නේය.
මහනුවර පිලේ පළමු උත්සාහක දිනුම වාර්තා වුයේ තරගයේ 34 වැනි මිනිත්තුවේදීය. ධනුෂ්ක රන්ජන් තැබූ එම උත්සාහක දිනුම තිළිණ විජේසිංහ ගෝලයක් බවට ප්‍රවර්ථනය කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 10-0 දක්වා ඉහළට ඔසවා තැබුවේය.
ඊට මිනිත්තු 3 කට පසුව දඬුවම් පහරක් සාර්ථක කරමින් සී.එච්. පිලට ලකුණු 3ක් ගෙනදීමට සැමුවෙල් මධුවන්ත සමත්විය. මහනුවර සාන්ත අන්තෝනි විදුහලෙන් බිහිවූ මේ 19 හැවිරිදි ක්‍රීඩකයාගේ පළමු අන්තර් සමාජ තරගය මෙය විය. හෙතෙම පසුගිය වසරේ පාසල් ලීග් රග්බි තරග බිමේ වැඩිම ලකුණු ලාභියාද විය.
පළමු භාගය නිමාවීමට මිනිත්තු දෙකකට පෙර තවත් දඬුවම් පහරක් සාර්ථක කරගත් තිළිණ විජේසිංහ මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාව 13-3කින් ඉදිරියට ගෙන ගියේය. පළමු භාගය නිමාවීමට ඔන්න මෙන්න කියා තිබියදී අනුරුද්ධ විල්වර තැබූ විශිෂ්ට උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ තිළිණ පළමු භාගය නිමාවනවිට මහනුවර පිල ලකුණු 20-3 කින් ඉදිරියේ තැබුවේය.
අනතුරුව ආරක්ෂාකාරීි ක්‍රීඩා විලාශයක් පෙන්වූ සී.එච්.පිල සිය ප්‍රතිවාදින්ට ලකුණු රැස් කිරීමේ අවස්ථා ගණනාවක්ම වැළක්විය.
60 වැනි මිනිත්තුවේදී නයිජල් රත්වත්ත නිතිවිරෝධි ක්‍රීඩා රටාවක නිරතවීම නිසා කහකාඞ් පතකින් දඬුවම් ලබා පිටියෙන් ඉවත්වීමෙන් පසුව ලද දඬුවම් පහර සාර්ථක කරගත් සැමුවෙල් මධුවන්ත සී.එච්.පිලේ ලකුණු සංඛ්‍යාව 6 දක්වා ඉහළ දැමුවේය.
එහෙත් ඊට මිනිත්තු දෙකකට පසුව සී.එච්.පිලේ ක්‍රීඩකයකු ඕෆ් සයිඞ් ක්‍රීඩා කිරීම නිසා ලැබූ දඬුවම් පහරක් සාර්ථක කරගත් තිළිණ විජේසිංහ මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාව 23 දක්වා ඉහළ දැමුවේය.
දැඩි අඳුර හේතුවෙන් තරගය නතර කිරිමට තරග විිනිසුරුවන් තීරණය කරනු ලැබුවේ ඊට මොහොතකට පසුවය. ඊට පෙර දෙපිලේ ක්‍රීඩකයන් අතර දැඩි උණුසුම් වාතාවරණයක් ඇතිවිය. එය ගැටුමකට යානොදී නතර කිරීමට තරග විනිසුරුවෝ සමත්වූහ.
(ඡායාරූපය - වරුණ කරුණාසේකර )
- 077