Last Update  :  2025-03-31 17:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී.ආර්. පිලෙන් ගුවන් හමුදාවට ප්‍රහාරයක්
අන්තර් සමාජ පළමු පෙළ

සී.ආර්. පිලෙන් ගුවන් හමුදාවට ප්‍රහාරයක්

editorial - 2025 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ කුසලාන වටය යටතේ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර අද (16 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 31-16 ක ජයක් වාර්තා කිරීමට සී.ආර්. ක්‍රීඩා සමාජය සමත් විය. මෙම ජයත් සමග තෙවැනි ස්ථානයට හිමිකම් කියමින් මෙවර තරග වාරය අවසන් කිරීමට සී.ආර්. කණ්ඩායමට හැකි විය. 

මෙම කණ්ඩායම් දෙක අතර තරගාවලියේ මූලික වටයේදී පැවැති තරගය ලකුණු 27-16 ක් ලෙස ජයගනු ලැබූවේද සී.ආර්. ක්‍රීඩා සමාජය විසිනි. උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් ලබාගැනීම හේතුවෙන් එහිදී සී.ආර්. කණ්ඩායමට ප්‍රසාද ලකුණක්ද හිමි විය. සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියේදී ලැබූ 8 වැනි ජය මෙය වූ අතර ගුවන් හමුදාව එහිදී ලැබූ 5 වැනි පරජයද මෙය විය. 

පළමු අර්ධයේදී ලකුණු 09-07 ක් ලෙස පෙරමුණ ගැනීමට ගුවන් හමුදාව සමත් වුවද, දෙවැනි අර්ධයේදී තරගයට අවතීර්ණ වූ සී.ආර්. ක්‍රීඩකයෝ ලකුණු 24 ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතු කරගත්හ. ගුවන් හමුදාවට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. 

තරගයේ පළමු අර්ධයේදී ගෝල දිනුමක් මගින් ලකුණු රැස්කළ සී.ආර්. කණ්ඩායම, දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුම් දෙකක් සමග ලකුණු රැස්කළේය. ගුවන් හමුදාව ලකුණු රැස්කළේ පළමු අර්ධයේදී දඬුවම් පහර 3 ක් මගින් සහ දෙවැනි අර්ධයේදී එක් ගෝල දිනුමක් මගිනි. 

එහිදී සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් ඔමල්ක ගුණරත්න සහ විදුන අමනෙත් උත්සාහක දිනුම් 2 බැගින්ද, වෙනුර කෝදාගොඩ එක් උත්සාහක දිනුමක්ද වාර්තා කළ අතර සුබේර් දොරේ ඉන් ප්‍රවර්ථනයන් 2 ක්ද, චෙමෝද් මුතුනායක එක් ප්‍රවර්ථනයක්ද සාර්ථක කරගත්තේය.  ගුවන් හමුදාව වෙනුවෙන් දඬුවම් පහර 3 සහ වාර්තා වූ එකම උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේ පසිඳු පෙරේරා විසිනි. 


අදහස් (0)

සී.ආර්. පිලෙන් ගුවන් හමුදාවට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.