Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සීකුගේ - සචිත‍්‍රගේ වෑයම අපතේ යයි

සීකුගේ - සචිත‍්‍රගේ වෑයම අපතේ යයි

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 12 Comment
A A A


ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සාජා ක‍්‍රීඩාංගණයේදී අද (18) පැවැති පළමු තරගයෙන් (දිවා/රාත‍්‍රී) පාකිස්තානු පිල ලකුණු 11 ක තියුණු ජයක් ලැබීමට සමත් විය.

ලකුණු 323 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල  ඕවර 49.4 කදී ලකුණු 311 ක් රැස් කිරීමට සමත් විය. අවසන්  ඕවරයට ලකුණු 14 ක් රැස්කළ යුතුව තිබුණ ද ලබාගත හැකිවූයේ ලකුණු 2 ක් පමණි.

සචිත‍්‍ර සේනානායක (42) සහ සීකුගේ ප‍්‍රසන්න (42) අටවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය පෙනෙන මානයට රැගෙන ඒමට සමත් වූහ. මෙය පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගයක අටවැනි කඩුල්ල වෙනුවෙන් ඉහළතම සම්බන්ධතාව ද වේ.  

අන්තර් සමාජ සීමිත  ඕවර තරගාවලියේ ප‍්‍රවේගකාරි පිතිහරඹයක නිරත වෙමින් නැවතත් සංචිතයට පැමිණි සීකුගේ ප‍්‍රසන්න පන්දු 25 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 42 ක් රැස්කරමින් අවසන් කඩුල්ල ලෙස දැවී ගියේය.

සචිත‍්‍ර සේනානායක පන්දු 24 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 42 ක් රැස් කළේය.  

දිනේෂ් චන්දිමාල් (46) සහ ඇන්ජලෝ මැතිව්ස් (31) පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 73 ක සම්බන්ධතාවක් පැවැත්වුවද එය ජයග‍්‍රහණය දක්වා යෑමට ප‍්‍රමාණවත් නොවීය.  කුසල් ජනිත් පන්දු 68 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් සිය දෙවැනි එක්දින අර්ධ ශතකය ලෙස ලකුණු 64 ක් රැස් කළේය.

කුසල් ජනිත් සහ තිලකරත්න ඩිල්ෂාන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 66 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු පිල  ඕවර 50 යේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 322 ක් රැස්කිරීමට සමත් විය.

හෆීස් පන්දු 129 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 122 ක් ලබා පිටියෙන් ඉවත්විය. මෙය හෆීස්ගේ 7 වැනි එක්දින ශතකයි. මොහොමඞ් හෆීස් සහ ෂොයිබ් මක්ෂූඞ් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 140 ක අනගි සම්බන්ධතාවක් පවත්වමින් පාකිස්තානය ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ආහ.

පාකිස්තානය 48 වැනි  ඕවරයේදී ලකුණු 300 යේ සීමාවට රැගෙන ආ සහිඞ් අෆ්රිඩි පන්දු 12 කදී ලකුණු 34 ක් රැස්කර දැවී ගියේය.

ෂොයිබ් මක්ෂූඞ්, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව දැඩි ප‍්‍රහාරයක් දියත් කරමින් පන්දු 68 ලකුණු 73 ක් ලබා සිටියදී දුවද්දී දැවී නොයන්නට ශ්‍රී ලංකා ඉලක්කය මීට වඩා වැඩිවීමට ඉඩ තිබුණි. මක්ෂූඞ්ගේ ඉනිම හතරේ පහර දෙකකින් සහ හයේ පහර හතරකින් වර්ණවත් විය.  

පාකිස්තානු පිල 33 වැනි  ඕවරයේ සිට පිතිකරු අධිවේගී  ඕවර පහ ලබාගත්ත ද කඩුලූ ආරක්‍ෂා කරගමින් පන්දුවට පහරදීම නිසා ලකුණු 25 ක් පමණක් එකතු විය. ඉන්  ඕවර තුනක් ලසිත් මාලිංග ද,  ඕවර දෙකක් සචිත‍්‍ර සේනානායකද, යැවූහ.
   
මෙම තරගයේදී එක්දින වරම් ලැබූ 24  හැවිරිදි ශජීල් ඛාන් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 61 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 61 ක් රැස්කිරීමට සමත් විය.

ශජීල් ඛාන් සහ මොහොමඞ් හෆීස් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 83 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.

සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ අහ්මඞ් ශෙෂාඞ් ලකුණු 11 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. ශෙෂාඞ් එම දැවී යෑම විනිසුරු තීරණය විමසීමේ ක‍්‍රමවේදයට යොමු කළ ද, ප‍්‍රමාදවීම නිසා විනිසුරුවෝ එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කිරීම කැපී පෙනුණි.   

පාකිස්තානු පිලේ නායක මිස්බා උල් හක් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ජ්‍යෙෂ්ඨ පා දඟ පන්දු යවන ක‍්‍රීඩක රංගන හේරත්ගේ ස්ථානයට මෙම තරගයේදී සීකුගේ ප‍්‍රසන්න කැඳවා තිබුණි.

දෙරට අතර දෙවැනි එක්දින තරගය හෙට (20) ඩුබායිහිදී පැවැත්වේ.

 

ලකුණු පුවරුව

තවත් සේයාරූ මෙතැනින්...


අදහස් (12)

සීකුගේ - සචිත‍්‍රගේ වෑයම අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.