Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සුසාල් - තරුෂි ජාතික චෙස් ශූරතා දිනති
ජාතික චෙස් ශූරතාවලිය

සුසාල් - තරුෂි ජාතික චෙස් ශූරතා දිනති

editorial - 2021 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කළ, ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාවලියේ පිරිමි ශූරතාව කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසාල් ද සිල්වා විසින් දිනාගන්නා ලදි. එහි කාන්තා ශූරතාව කොළඹ විශාඛා විද්‍යාලයේ තරුෂි නික්ලේෂා විසින් ද දිනා ගන්නා ලදි.

මෙම තරගාවලිය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති අතර එය 30 වැනිදා රාත්‍රියේ නිමාවට පත්විය. සුසාල් ද සිල්වා මෙන්ම නික්ලේෂා තරුෂි ජාතික චෙස් ශූරතා දිනාගත්තේ පළමු වරටය.

සුසාල් ද සිල්වා පිරිමි ශූරතාව දිනා ගත්තේ තරගාවලියට සහභාගීවූ ක්‍රීඩකයින් 14 දෙනා අතර පැවති තරග වට 13 න් ලකුණු 11.5 ක් ලබාගනිමිනි. නික්ලේෂා තරුෂි කාන්තා ශූරතාව දිනා ගත්තේ ක්‍රීඩිකාවන් 14 දෙනා අතර පැවති තරග වට 13 න් ලකුණු 9 ක් ලබාගනිමිනි.

ගිය වසරේ ජාතික චෙස් ශූරයාවූ කොළඹ ආනන්ද විද්‍යාලයේ රනිඳු දිල්ශාන්ට විශාල අභියෝගයක් වෙමින් පිරිමි තරගාවලියේ ආරභයේ සිටම සුසාල් ද සිල්වා ඉදිරියෙන් සිටියේය. සුසාල්ට අවසන් වටය තරග කිරීමට සිදුවූවේ  ද රනිදු දිල්ෂාන් සමගය.

යම් හෙයකින් එම තරග වටයේදී සුසාල් පරාජය වූයේ නම්,  තරගාවලියේ ශූරයා වනුයේ රනිඳු දිල්ශාන්‍ය. එහෙත් අවසන් තරග වටය වනවිට සුසාල් ද සිල්වා සිය ප්‍රතිවාදියා වූ රනිඳු දිල්ෂාන්ට වඩා ලකුණු භාගයක් ඉදිරියෙන් සිටීම නිසා අවසන් තරගය ජය පරාජයෙන් තොර වූයේ නම් සුසාල් ද සිල්වාට ශූරතාව හිමිවීමට එය ප්‍රමාණවත්වී තිබිණ.

කරට කර තරගයක නිරත වූ සුසාල් සහ රනිඳු දෙදෙනා අතර පැවැති තරග වටය ජය පරාජයෙන් තොරවීම හේතුවෙන් තරග වට 13 න් ලකුණු 11.5 ක් සිය නාම ඉදිරියේ සටහන් කරගත් සුසාල් ද සිල්වා පිරිමි ශූරතාව දිනා ගත්තේය. ගිය වසරේ ජාතික චෙස් ශූරයා වූ රනිඳු දිල්ශාන්ට අනු ශූරතාව හිමිවූයේ තරග වට 13 න් ලකුණු 11ක් හිමිකර ගනිමිනි.

තරග වට 13 න් ලකුණු 8 ක් ලබාගත් කුරුණෑගල මලියදේව විද්‍යාලයේ එස්.ඩී. කිරිඇල්ලට තරගාවලියේ තෙවැනි ස්ථානයත් ලකුණු 7.5 බැගින් ලබාගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඔෂීන්ද සිල්වාට සිව් වැනි ස්ථානයත් කොළඹ ආනන්ද විද්‍යාලයේ තීක්ෂණ දෙනුවන්ට පස් වැනි ස්ථානයත් හිමිවිය.

ලකුණු අනුපිලිවෙල අනුව ඉහළින්ම සිටි පස්දෙනා ශ්‍රී ලංකා ජාතික චෙස් කණ්ඩායමට තෝරා ගැනිණ.

පිට පිට දෙවතාවක්ම ජාතික චෙස් ශූරියවූ කොළඹ පාස් පෝන් චෙස් ක්‍රීඩා සමාජයේ දසුනි හංසිකා මෙවර තරගාවලියේ අන්තිම වටයට පෙර වටය දක්වාම ඉදිරියෙන් සිටියාය. ඒ වනවිට පැවති තරග වට 11න් ලකුණු 8ක් ලබාගෙන දසුනි හංසිකා තරගාවලියේ ඉදිරියෙන්ම සිටියේ දෙවැනියාට වඩා ලකුණු භාගයක් ඉදිරියෙනි.

12 වැනි තරග වටයේදී තරග වට 11න් ලකුණු 6.5ක් ලබාගෙන සිටි දහතුන් හැවිරිදි ආධුනික චෙස් ක්‍රීඩිකාවක් වන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්.එසදි නෙවන්සා සමග පැවති තරගයේදී දසුනි හංසිකා පරාජයට පත්වූවේ තෙවැනි වරටත් ජාතික ශූරිය වීමේ අවස්ථාවද අහිමි කර ගනිමිනි. එමෙන්ම කොළඹ විශාකා විද්‍යාලයේ නික්ලේෂා තරුෂිට පළමුවරට ජාතික ශූරියවීමේ පාරද කපා දෙමිනි.

අවසන් තරග වටය වන 13 වැනි තරග වටය ජය පරාජයෙන් තොරවුවත් අනුශූරතාව අතේ තිබූ දසුනි හංසිකා එය අහිමි කරගත්තේ අවසන් වටයේදී මාලඹේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ආර්.එම්.කේ. හේරත්ට පරාජය වීමෙනි.

මේ නිසාම දසුනි හංසිකා 12 වැනි තරග වටයේදී පරාජය කළ එසඳි නෙවන්සාට තරගාවලියේ අනුශූරතාව හිමිවූ අතර තරගාවලියේ තෙවැනි ස්ථානයෙන් සෑහීමට දසුනි හංසිකාට සිදු වූයේ අවසන් තරග වට දෙකම පිට පිටම පරාජයට පත්වීමත් සමගමය.

තරග වට 13න් ලකුණු 7.5 බැගින් ලබාගත් කොළඹ විශාකා විද්‍යාලයේ ඊෂා පල්ලේට තරගාවලියේ සිව් වැනි ස්ථානයත් වේයන්ගොඩ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ දිහන්සා ගමගේට පස් වැනි ස්ථානයත් හිමි විය.

කාන්තා තරගාවලියේ ලබාගත් ඉහළම ලකුණු අනුව ශ්‍රී ලංකා ජාතික චෙස් කණ්ඩායමට ක්‍රීඩිකාවන් පස් දෙනෙකු තෝරා ගන්නා ලදි. ඒ අනුව නික්ලේෂා තරුෂි, එසඳි නෙවන්සා, දසුනි හංසිකා, ඊෂා පල්ලේ සහ දිහංසා ගමගේ ජාතික කණ්ඩායමට එක්වූහ.

 

පිරිමි තරගාවලියේ නිල ප්‍රතිපල:-

1.ලොකුගේ සුසාල් (නාලන්දා විද්‍යාලය-කොළඹ) - ලකුණු (11.5)
2.රනිදු දිල්ශාන් (ආනන්ද විද්‍යාලය-කොළඹ) ලකුණු (11)
3.කේ.ජී.ටී එස්.ඩී. කිරිඇල්ල(මලියදේව විද්‍යාලය-කුරුණෑගල)ලකුණු(8)
4.ඔෂීන්ද සිල්වා (ශ්‍රී ලංකා නාවික හමුදාව) - ලකුණු( 7.5)
5.තීක්ෂණ දෙනුවන්(ආනන්ද විද්‍යාලය -කොළඹ) - ලකුණු (7.5)
6.එස්.සිවතනුජන්(කොකාවිල් හින්දු විද්‍යාලය-යාපනය) - ලකුණු (7)
7.චමත් වීරසිංහ(තොරතුරු තාක්ෂන විශ්ව විද්‍යාලය--මාළඹේ)ලකුණු (6)
8.ඉෂාර බනිදු(රාජකීය විද්‍යාලය-කොළඹ) - ලකුණු (6)
9.සන්දුලා දහම්දි(මියුසියස් විද්‍යාලය-කොළඹ) - ලකුණු (6)
10.එස්.ඩී.බී.කේ.සෙනවිරත්න(මලියදේව විද්‍යාලය -කුරුණෑගල) - ලකුණු(6)
11.තිසල් මංජිත්(ධර්මාශෝක විද්‍යාලය-අම්බලන්ගොඩ) - ලකුණු (5.5)
12.අස්වින් සෙනුක(ඩී.එස්.සේනානායක විද්‍යාලය-කොළඹ)  - ලකුණු (3.5)
13.මොහොමඩ් නෂාර්(ගේට්වේ ජාත්‍යන්තර පාසල-දෙහිවල) - ලකුණු(3)
14.සෙනාල් විනුජ(රාජකීය විද්‍යාලය-කොළඹ)  - ලකුණු (2.5)

 

කාන්තා තරගාවලියේ නිල ප්‍රතිපල :-

1.නික්ලේෂා තරුෂි(විශාකා විද්‍යාලය,කොළඹ) - ලකුණු (9)
2.එම්.එසදි නෙවන්සා(ධර්මාශෝක විද්‍යාලය,අම්බලන්ගොඩ)  - ලකුණු (8)
3.දසුනි හංසිකා(පාස් පෝන් චෙස් ක්‍රීඩා සමාජය ,කොළඹ) - ලකුණු (8)
4.ඒෂා පල්ලේ(විශාකා විද්‍යාලය ,කොළඹ) - ලකුණු (7.5)
5.දිහංසා ගමගේ (සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය,වේයන්ගොඩ) - ලකුණු( 7.5)
6.ජනනන්දනී අබේසිංහ (එන්.එස්.බී.එම්.හරිත විශ්ව විද්‍යාලය-කොළඹ) - ලකුණු( 7)
7.තරුලි විහන්සා (යොසීඩා ජාත්‍යන්තර පාසල-කොළඹ)  - ලකුනු( 7)
8.නිමින්දි ලිනායා(බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය-වේයන්ගොඩ) - ලකුනු(6.5)
9.ඔෂිනි ගුණවර්ධන(පර්ගියුෂන් විද්‍යාලය-රත්නපුර)ලකුණු (6.5)
10.මෙව්නා අත්තනායක(දේවි බාලිකා විද්‍යාලය-කොළඹ) - ලකුණු (6.5)
11.ඔනෙලි විතානවසම්(ලයිසියම් ජාත්‍යන්තර පාසල-වත්තල) - ලකුණු (6)
12.චේතානි චමත්කා(යසෝදරා විද්‍යාලය-කොළඹ)  - ලකුණු (4.5)
13.එච්.එම්.ආර්.කේ.එම්.හේරත්(තොරතුරු තාක්ෂන විශ්ව විද්‍යාලය-මාලඹේ)  - ලකුණු (4.5)
14.සයුමි ගමගේ(මියුසියස් විද්‍යාලය-කොළඹ)  - ලකුණු (2.5)

(ඡායාරූප - කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)


අදහස් (0)

සුසාල් - තරුෂි ජාතික චෙස් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.