Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සෙරීනා කඳුළු පිරි දෙනෙතින් සමුගනී

සෙරීනා කඳුළු පිරි දෙනෙතින් සමුගනී

editorial - 2022 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)

එක්සත් ජනපද විවෘත ශුරතාවලියේ මූලික වටයේ තරගයකදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා අයිලා ටොම්ලියැනොවික් හමුවේ පරාජය වූ ප්‍රවීන ක්‍රීඩිකා සෙරීනා විලියම්ස්, කඳුළු පිරි දෙනෙතින් ටෙනිස් පිටියෙන් සමුගත්තාය. මෙම තරගාවලියෙන් පසුව තමන් ටෙනිස් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව සෙරීනා පසුගිය මාසයේදී නිල වශයෙන් ප්‍රකාශ කර තිබිණ.

නිව්යෝක් නුවර බිලී ජීන් කිං ටෙනිස් මධ්‍යස්ථානයේ ප්‍රධාන ක්‍රීඩාංගණය වන්නේ ආතර් ඈෂ් ක්‍රීඩාංගණයයි. එහි තවත් උණුසුම් රාත්‍රියකදී, ටෙනිස් ලෝලීන්ගේ හැඟීම් අවුළුවා දමමින්, ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23 ක හිමිකාරිනිය වූ සෙරීනා, තවමත් 29 හැවිරිදි ක්‍රීඩිකාවක වන අයිලා ටොම්ලියැනොවික් හමුවේ පරාජය වූවාය. තරගයේ ලකුණු සටහන් වූයේ 7-5, 6-7 (4/7) සහ 6-1 ක් ලෙසිනි.

අයිලා ටොම්ලියැනොවික්, ක්‍රොඒෂියානු සම්භවයක් ඇති ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවකි. ටෙනිස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගතකිරීම් අතරේ අයිලා ලබාගත් හොඳම ස්ථානය වන්නේ වසර 2015 දී 38 වැනි ස්ථානයට පත්වීමයි.

ආතර ඈෂ් ක්‍රීඩාංගණය උතුරා යන්නට සිටි ටෙනිස් ලෝලීන්ගේ අවධානය දිනාගත්, ද්වන්ධ සටනක් ලෙසින් පැවැති අයිලා - සෙරීනා තරගය, පැය තුනකට වඩා වැඩි කාලයක් ඇදී ගියේය. සෙරීනා සිය පළමු වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගන්නා විට අයිලා යන්තම් 6 හැවිරිදි දැරියකි.

වසර 27 ක කාලයක් වෘත්තීය ටෙනිස් ක්‍රීඩිකාවක ලෙසින් අද්වීතීය දස්කම් දැක්වූ සෙරීනා ටෙනිස් පිටියෙන් පිටව යන්නේ එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩිකාවක මෙන්ම ක්‍රීඩා සංස්කෘතියක දැවැන්ත සංඛේතයක් ලෙසිනි. වසර 13 දී වෘත්තීය ටෙනිස් පිටියට පිළිපන් සෙරීනා, මේවන විට 40 හැවිරිදි එක්දරු මවකි.

කොතෙක් සිත දැඩි ක්‍රීඩිකාවක වූවත් සිය අවසන් පරාජයේදී ඇයට නොහඬා සිටීමට නොහැකි විය. ඇය වචන භාවිතා කළේ සිය වේදනාව සඟවාගැනීමේ උත්සාහයක් ලෙසිනි.
සිය වෘත්තීය තරග දිවිය සම්බන්ධයෙන් කළ විමසීමකදී “එය හරිම විනෝදජනක ගමනක්,” යයි සෙරීනා කීවේ ඇත්තක්ම නොවේ. මක්නිසාද යත් පසුගිය වසර පහ පුරාම, වාර්තාගත 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව සොයමින් සෙරීනා බොහෝ වෙහෙස වූවාය.

“එය මම මගේ ජීවිතයේ මෙතෙක් පැමිණි ඇදහිය නොහැකි ගමනක්...”
“‘යන්න.... සෙරීනා ඉදිරියටම යන්න...’යි මා වෙනුවෙන් කෑ ගසා කී සෑම පුද්ගලයෙකුටම මම ඉතාමත් කෘතඥ වෙනවා. මාව මෙතැනට ගෙනාවේ ඔබයි” සෙරීනා කීවාය.

ටෙනිස් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම ගැන කතා කිරීමට සෙරීනා තරමක් මැළි වන්නීය. ඇය පසුගිය මාසයේ වෝග් සඟරාවට කියා සිටියේ එක්සත් ජනපද විවෘත ටෙනිස් තරගාවලියෙන් පසුව තමන් ටෙනිස් ක්‍රීඩාවෙන් “පරිණාමය වෙනවා” යන්නයි. එදා එසේ කීවත්, සිකුරාදා (02 වැනිදා) ලද පරාජයෙන් පසුව සෙරීනා කියා සිටියේ ටෙනිස් ක්‍රීඩාවෙන් පසුව තමන්ගේ ජීවිතයේ අනෙක් අපේක්ෂාවෙන් සම්බන්ධයෙන් ඇය උද්යෝගිමත් ව සිටින බවයි.
“මම අම්මා කෙනෙක් වෙන්න, ඒ කියන්නේ සෙරීනාගේ වෙනස් ප්‍රතිරූපයක් සොයාගෙන යන්න සූදානම්,” ඇය පැවසුවාය.

“තාක්ෂණිකව, මම තවමත් ඉතාම තරුණයි. ඒ නිසා මම, මගේ එදිනෙදා කටයුතු කරගෙන යන අතරම, ජීවිතය විඳින්නත් අවශ්‍යයි” යයි ද සෙරීනා කීවාය.

ගොල්ෆ් ක්‍රීඩකයකු වශයෙන් ලෝකයේ අද්වීතීය නමක් හිමි ටයිගර් වුඩ්ස් කියා සිටියේ සෙරීනා ටෙනිස් පිටියේදී මෙන්ම ඉන් පිටතදීත්, ලෝකයේ විශිෂ්ටතම ක්‍රීඩිකාව බවයි.
“අපගේ සිහින ලුහුබැඳීමට, අප සියලු දෙනාම දිරිමත් කිරීම ගැන ඔබට ස්තුතියි” යයි ද ටයිගර් වූඩ්ස් ට්විටර් පණිවුඩයක් තබමින් කියා තිබිණ.

ලොස් ඇන්ජලීස් නුවර ආසන්නයේ පිහිටි ‘කොම්ප්ටන්’ නම් දනව්වේ සිට ටෙනිස් ක්‍රීඩාවේ මේ තරම් දුරක් පැමිණීම ගැනත්, ක්‍රීඩාවේ උච්චතම ස්ථානයට නැගීම ගැනත් හිටපු ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමා සෙරීනාට ප්‍රශංසා කර තිබිණ.


අදහස් (0)

සෙරීනා කඳුළු පිරි දෙනෙතින් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.