Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සොනාල් - රන්දික ‘ඒ’ පිල ගොඩගනිති
සිව්දින තරගය

සොනාල් - රන්දික ‘ඒ’ පිල ගොඩගනිති

editorial - 2024 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

කඩුලු සම්බන්ධතා දෙකක් ඇතුළත ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 201 කින් ඉදිරියට ගෙන ගිය සොනාල් දිනූෂ (නොදැවී 126) සහ විෂාද් රන්දික (68) එක්වී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වැටෙන්නට ගිය අගාධයෙන් ගොඩගත්හ. කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) ආරම්භ වූ නිලනොවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවේදී ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 372 ක් ලබා සිටියේය. 

සොනාල් දිනූෂ (නොදැවී 126) සහ වනුජ සහන් (නොදැවී 34) දිනය නිමාවේදී පිටියේ රැඳුණු පිතිකරුවෝ වූහ. 
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කිසිදු පැකිළීමකින් තොරව පන්දුවට පහර දීම තෝරාගත්තේ හවස් වරුවේ කාලගුණය පිළිබඳ කිසිම විශ්වාසයක් තැබිය නොහැකි බැවිනි. අපේක්‍ෂිත ආකාරයෙන්ම ආරම්භක පිතිකරුවෝ දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක් එකතු කළද, මොරටුවේ ප්‍රනාන්දුලා දෙදෙනාම ලකුණු 21 ක් ඇතුළත දැවී ගියහ. 

කිසිවකු නොදැවී ලකුණු 84 ක් සටහන්ව තිබූ ලකුණු පුවරුව, නායක පසිඳු සූරියබණ්ඩාර ස්ටම්ප් කිරීමකට හසුවීමත් සමගින්, විනාඩි කිහිපයක් ඇතුළත කඩුලු 4 කට 106 ක් ලෙසින් සටහන් කළේය. සොනාල් දිනූෂට එක්වූ අහන් වික්‍රමසිංහ (27) ලකුණු සංඛ්‍යාව 171 ක් දක්වා තල්ලු කරගෙන ගියද බැක් කට් පහරක් ගැසීමට යාමේදී අහන් දැවී ගියේය. එහෙත් සටන අත් නොහළ සොනාල් දිනූෂ, අපරාජිතව දිනය නිමා කළේ මුහුණ දුන් පන්දු 178 කින් 13 ක් හතරේ සීමාවට යවමිනි. 

විෂාද් රන්දික හා එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 115 ක් එක්කළ දිනූෂ බලාපොරොත්තු තැබිය හැකි අවසන් පිතිකරුවා වන වනුජ සහන් සමගින් එක්වී 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ද ගොඩනැංවීය. 

හෙට තරගයේ දෙවැනි දිනයයි. මෙය, නිල නොවන, සිව්දින ටෙස්ට් තරගයකි


අදහස් (0)

සොනාල් - රන්දික ‘ඒ’ පිල ගොඩගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.