Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හම්බන්තොට ශාක්ස් ලීග් රග්බි තරගාවලියෙන් ඉවත් වෙයි

හම්බන්තොට ශාක්ස් ලීග් රග්බි තරගාවලියෙන් ඉවත් වෙයි

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ  ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියෙන් හම්බන්තොට ශාක්ස් පිල ඉවත්වන බව නිල වශයෙන් දැනුම්දී තිබේ.

කොළඹ ප‍්‍රධාන රග්බි සමාජයක් වන සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල ද ලීග් තරගාවලියෙන් ඉවත් වන තත්ත්වයට පත්ව ඇති බව ද වාර්තා වේ.

මේ පිළිබදව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ‍්‍රී ලංකා රග්බි සංගමයේ උසස් නිලධාරියකු පැවසුවේ ශාක්ස් පිල තරගාවලියෙන් ඉවත් වන බව ලිඛිතව දැනුම් දුන් බවත් සී. එච්. පිලේ අභ්‍යන්තර ප‍්‍රශ්නයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

”ශාක්ස් පිලේ ක‍්‍රීඩකයන් රැසක් ආබාධවලට ලක්ව ඇති බවට එම ලිපියෙන් දන්වා තිබෙනවා. මෙම කණ්ඩායම් දෙක ඉවත්වීමෙන් ඇති වූ තත්ත්වය පිළිබදව හෙට සාකච්ඡ කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

තරගාවලියෙන් ඉවත් වූ කණ්ඩායම්වල ක‍්‍රීඩකයන්ට වෙනත් කණ්ඩායම්වලට ක‍්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීම පිළිබදව ශ‍්‍රී ලංකා රග්බි සංගමයේ අවධානය යොමු වී තිබේ.   

හම්බන්තොට ශාක්ස් පිල දෙවැනි වටයේ සහභාගි වූ තරග දෙකේදීම පරාජයට පත්වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීම ශාක්ස් පිල තරගාවලියෙන් ඉවත්වීමට හේතුවන්නට ඇතැයි තතු දන්නෝ පවසති.

හම්බන්තොට ශාක්ස් පිල ආරම්භ කිරීම වෙනුවෙන් මීට වසර දෙකකට පමණ පෙර කොළඹදී පැවැති අති උත්කර්ශවත් උත්සවයේදී එහි සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ පුත‍්‍රයා වන වයඹ පළාත් සභා මන්ත‍්‍රී ජොහාන් ප‍්‍රනාන්දු මහතා කටයුතු කළේය.

එම උත්සවයට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු යන මහත්වරු ඇතුඵ විශාල පිරිසක් සහභාගි වූහ.

හම්බන්තොට ශාක්ස් පිල පළමු වටයේදී සත්කාරත්වය දැරූ සියලූ තරග බෙලිඅත්තේදී පැවැත්වුව ද, දෙවැනි වටයේ පසුගිය සතියේ ගුවන් හමුදාවට එරෙහිව පැවැති තරගය හදිසියේම රත්මලානට මාරු කළේය.


අදහස් (0)

හම්බන්තොට ශාක්ස් ලීග් රග්බි තරගාවලියෙන් ඉවත් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.