Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හර්දික් පාණ්ඩ්‍යා ඉන්දියාවට ජය ගෙනෙයි

හර්දික් පාණ්ඩ්‍යා ඉන්දියාවට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හර්දික් පාණ්ඩ්‍යා (83) සහ මහේන්ද්‍ර සිං දෝනි (79) එක්ව හයවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 118 ක සම්බන්ධතාවය හේතුවෙන් චෙන්නායිහිදී අද (17 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් ඕස්ටේ්‍රලියාවට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 26 ක ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත්විය.


ඉන්දීය ඉනිම අවසානයේ ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය මිනිත්තු 180 ක පමණ කාළයක් නතර කිරීමට සිදුවූ අතර ඕවර 29 ක් ඕස්ටේ්‍රලියා පිලට අහිමිවී ගියේය. ජයග්‍රහණය සදහා ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය ඕස්ටේ්‍රලියාවට ඕවර 21 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 137 ක් පමණි.


මුළු ලකුණු සංඛ්‍යාව 35 ක් වනවිටදී පිතිකරුවන් හතර දෙනෙකු නැවතත් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ. වේගවත් පිතිහරඹයක නිරතවූ ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 18 කදී හයේ පහර හතරක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 39 ක් රැස්කළද යුස්වේන්ද්‍ර චහල්ගේ පන්දුවක් හමුවේ පස්වැනි කඩුල්ල ලෙස ඔහු දැවී ගියේය. ග්ලෙන් මැක්ස්වෙල් සහ මාකස් ස්ටොයින්ස් හයවැනි කඩුල්ල සදහා පන්දු 24 කදී ලකුණු 41 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සහ කළද එය අසාර්ථක විය. 


පසුපෙළ පිතිකරුවන් අසාර්ථක වනවිට තනි සටනක නිරතවූ ජේම්ස් ෆෝක්නර් පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 32 ක් රැස්කළද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය. යුස්වේන්ද්‍ර චහල් කඩුලු 3 ක්ද හර්දික් පාණ්ඩ්‍යා සහ කුල්දීප් යාදව් කඩුලු 2 බැගින්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


හර්දික් පාණ්ඩ්‍යා (83) සහ මහේන්ද්‍ර සිං දෝනීගේ (79) විශිෂ්ට පිතිහරඹය හමුවේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 281 ක් රැස්කිරීමට සමත්විය.


කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක විරාට් කෝලී පළමුව පන්දුවට පහරදීමට තීරණය කළද පළමු කඩුලු 3 ලකුණු 11 ක් තුළ දවාගැනීමට වේගපන්දු යවන ක්‍රීඩක නේතන් කූල්ටර්නයින් සමත්විය. රෝහීත් ශර්මා සහ කේදර් ජාදව් එක්ව සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 53 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් තරමක් දුරට පීඩනයෙන් ගැලවිමට උත්සහ දැරුවද මුළු ලකුණු සංඛ්‍යාව 87 ක් වනවිට ඔවුන් දෙදෙනාද දැවීයාමත් සමගින් ඉන්දිය කණ්ඩායම ප්‍රපාතයට ඇද වැටුණි.


තම කණ්ඩායමට ඇති පීඩනය තඹ දොයිතුවකටවක් ගණන් නොගත් හර්දින් පාණ්ඩ්‍යා සහ මහේන්ද්‍ර සිං දෝනී හයවැනි කඩුල්ල සදහා පන්දු 116 කදී ලකුණු 118 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඉන්දිය කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ දැමීමට සමත්වූහ. පාණ්ඩ්‍යා වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 66 කදි හයේ පහර පහක් සහ හතරේ පහර පහක් සමගින් ලකුණු 83 ක් රැස්කිරීමට සමත්වූ අතර දෝනී පන්දු 88 කදි හයේ පහර දෙකක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 79 ක් රැස්කිරීමට සමත් විය.


ඉන්දීය ඉනිම ආරම්භයේදී කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ නේතන් කූල්ටර්නයින්ට ඉනිම අවසන් වනවිට එම කඩුලු තුනෙන්ම සැහීමට පත්වීමට සිදුවිය.

 

ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 281
(හර්දින් පාණ්ඩ්‍යා 83, මහේන්ද්‍ර සිං දෝනී 79, කේදර් ජාදව් 40, බුවනේෂ්වර් කුමාර් නොදැවී 32, නේතන් කූල්ටර්නයින් 44/3, මාකස් ස්ටොයිනිස් 54/2)

ඕස්ටේ්‍රලියාව - ඕවර 21 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 137
(ඬේවිඞ් වෝනර් 25, ග්ලෙන් මැක්ස්වෙල් 39, ජේම්ස් ෆෝක්නර් නොදැවී 32, යුස්වේන්ද්‍ර චහල් 30/3, හර්දික් පාණ්ඩ්‍යා 28/2, කුල්දීප් යාදව් 33/2)


අදහස් (0)

හර්දික් පාණ්ඩ්‍යා ඉන්දියාවට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.