Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
තරග 67 කට පසුව, සිය මංගල විස්සයි-20 අර්ධ ශතකය ලබාගත් නිලක්ෂි ද සිල්වා (නොදැවී 63) සහ හර්ෂිතා මාධවී (නොදැවී 51) එක්ව බංග්ලාදේශයට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියේදී 2-1 ක ජයක් කරා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කැඳවාගෙන ගියහ. අද (12 වැනිදා) කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 44 ක පහසු ජයක් ලබාගත්හ.
තරගාවලියේ පළමු තරගය ජයගැනීමට බංග්ලාදේශය සමත් වූ නමුත් දෙවැනි සහ තුන්වැනි තරග දෙකම ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 2-1 ක් ලෙසින් විස්සයි-20 තරගාවලිය ජයගත්හ. තරග දෙකක් වර්ෂාවට සේදී ගිය නමුත් තුන්වැනි එක්දින තරගය ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලියත් 1-0 ක් ලෙසින් ජයගත්හ.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ තුන්වැනි කඩුල්ලත් 10 වැනි ඕවරයේදී දැවී යන විට ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 3 කට 56 ක් ලෙසිනි. එහෙත් ඉනිමේ අවසන් ඕවර 10 දී ලකුණු 102 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ හර්ෂිතා මාධවී සහ නිලක්ෂි දෙදෙනා, පන්දු 64 කදී ශතක සම්බන්ධතාව සම්පූර්ණ කළහ.
අංක 3 පිතිකාරිණියගේ වගකීම අකුරටම ඉටුකළ හර්ෂිතා දෙවැනි තරගයේදී පන්දු 42 කින් ලබාගත්තේ ලකුණු 29 ක් පමණි. එහෙත් අඩු ලකුණු සංඛ්‍යාවක් වාර්තා වූ එම තරගයේදී හර්ෂිතා ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය වූවාය. බංග්ලාදේශයට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියේදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ හර්ෂිතාගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 45 ක්, නොදැවී 29 ක් සහ නොදැවී 51 ක් ලෙසිනි. විස්සයි-20 තරග තුනේදීම පන්දු 128 කට මුහුණ දෙමින් ලකුණු 125 ක් ලබාගත් හර්ෂිතා මෙම තරග තුනේදීම ගැසූ හතරේ පහර සංඛ්‍යාව 12 කි. එහෙත් ඇය දැවී ගියේ එක වතාවකදී පමණි.
ජහනාරා අලාම් හමුවේ පිට පිටම ගැසූ හයේ පහර දෙකකින් සිය මංගල අර්ධ ශතකය සම්පූර්ණ කළ නිලක්ෂි, ඉනිමේ අවසන් ඕවරයේදී ජහනාරා අලාම්ගෙන් ලකුණු 23 ක් උදුරා ගත්තාය. අවසන් ඕවරයේ පළමු පන්දුවට මුහුණ දුන් හර්ෂිතා තනි ලකුණක් ලබාගනිමින් අනෙක් අන්තයට ගිය පසුව නිලක්ෂිගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 6, 6, 4, 6, 1 ක් වශයෙනි.
පන්දු 39 කින් පැමිණි නිලක්ෂි ද සිල්වාගේ අපරාජිත ලකුණු 63 ට හතරේ පහර 4 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත් වී තිබිණ.
බංග්ලාදේශ කාන්තාවන්ද මුල් ඕවර 10 නිමාවේදී ලකුණු 50 සීමාව ඉක්මවා තිබුණ නමුත් අවශ්‍ය ලකුණු වේගය ඊට බොහෝ ඉහළින් තිබුණේය. උදේශිකා ප්‍රබෝධනී (17/2), සුගන්ධිකා කුමාරි (19/1) සහ ඉනෝකා රණවීර (17/2) තිදෙනා, සිය ඕවර 12 ලකුණු 53 කට සීමා කළ හෙයින් බංග්ලාදේශ පිතිකාරිණියන්ට යන එන මං සොයාගත නොහැකි විය.
ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 158 යි
(චමරි අතපත්තු 32, හර්ෂිතා මාධවී නොදැවී 51, නිලක්ෂි ද සිල්වා නොදැවී 63)
බංග්ලාදේශ කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 114 යි
(ෆර්ඝානා හක් 10, ශෝභනා මෝස්තාරි 30, නිගාර් සුල්තානා 31, රිටූ මෝනි 11, උදේශිකා ප්‍රබෝධනී 17/2, කාව්‍යා කාවින්දි 28/2, ඉනෝකා රණවීර 17/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.