Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හැව්ලොක්ස් පිටියේ උත්සාහක දිනුම් වැස්සක්

හැව්ලොක්ස් පිටියේ උත්සාහක දිනුම් වැස්සක්

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


උත්සාහක දිනුම් අටකින් මහනුවර ශාන්ත අන්තෝනි විදුහල් පිල අන්දමන්ද කළ මරදාන ශාන්ත ජෝශප් ක්‍රීඩකයෝ අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ තුන්වැනි සතියේ තරගය ලකුණු 50-24 කින් ජයගැනීමට සමත් වූහ.

හැව්ලොක්ස් පිටියේ ඊයේ පස්වරුවේ පැවැති මේ තරගයේදී ශාන්ත අන්තෝනි විදුහල් පිල දැඩි පීඩනයකට හසුකළ ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩකයෝ පළමු භාගයේදී පෙරමුණ ගත්තේ ලකුණු 19-12 කිනි.

ශාන්ත ජෝෂප් විදුහල ගෝල දිනුම් 5 කින් සහ උත්සාහ දිනුම් 3 කින් ලකුණු ලබාගත්තේය. ශාන්ත අන්තෝනි විදුහලට ගෝලයකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලැබිණ.

සාන්ත ජෝශප් පිලේ ආරක්ෂක වළල්ල අතරින් රිංගා ගිය මොහොමඞ් මකාරිම් තරගයේ පළමු උත්සාහක දිනුම තබමින් සාන්ත අන්තෝනි විදුහල් පිල ලකුණු 5-0 කින් ඉදිරියට ගෙන ගියේය. එහෙත් ඊට මිනිත්තු කිහිපයකට පසුව සිය සුපුරුදු ක්‍රීඩා විලාශයට අවතීරණ වූ සාන්ත ජෝශප් විදුහල් පිල පළමු භාගය නිමාවට පත්කළේ උත්සාහක දිනුම් 3 ක්ම තබමිනි.

ගැමුණු චේතිය තැබූ අනගි උත්සාහක දිනුමක් ද ඊට මෙහොතකට පසුව ශෙවොන් ග්‍රෙගරිගේ උත්සාහක දිනුමත් ගෝල බවට ප්‍රවර්තනය කළ සන්තූෂ් අල්ගම සාන්ත ජෝශප් විදුහල් පිල ලකුණු 14-5 කින් ඉහළට ඔසවා තැබුවේය. එහෙත් සාර්ථකව තරගයට අවතීරණ වූ සාන්ත අන්තෝනි විදුහල් පිලේ නිරංග රණවීර තැබූ උත්සාහක දිනුම මොහොමඞ් මාකරිම් විසින් ගෝලයක් බවට ප්‍රවර්තනය කරනු ලැබීමෙන් ලකුණු සංඛ්‍යාව 12 දක්වා ඉහළ දැමුවේ ප්‍රතිවාදින් හමුවේ අභියෝගයක් එල්ල කරමිනි.

සාන්ත ජෝශප් විදුහල් පිලේ නායක සමීෂ විරංගගේ විශිෂ්ට උත්සාහක දිනුම වාර්තා වූයේ පළමු භාගය නිමාවට මොහොතකට පෙරය.

දෙවැනි භාගය පුරාම සාන්ත අන්තෝනි විදුහල් පිල පීඩනයට ඇද දැමූ සාන්ත ජෝශප් විදුහල් පිල තවත් උත්සාහක දිනුම් 5 කින් ලකුණු සංඛ්‍යාව වර්ණවත් කරගත්තේය. ඒ අතරින් කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූ ගැමුණු චේතිය උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සම්පූර්ණ කිරීම කැපී පෙනුණි.

මෙවර තරගවාරයේ ඔහු උත්සාහක දිනුම් ත්‍රිත්වයක් තැබූ දෙවැනි අවස්ථාව මෙයයි.

ගැමුණුගේ උත්සාහක  දිනුම් දෙකක්ම වාර්තා වුයේ දෙවැනි භාගය ආරම්භ වී මිනිත්තු 10 කට පසුව උදාර ආරියපාල උත්සාහක දිනුමක් තබමින් සාන්ත අන්තෝනි විදුහල් පිලේ ලකුණු සංඛ්‍යාව 17 දක්වා ඉහළ දැමිමෙන් පසුවය.

අනතුරුව ජෝන් ගනේගොඩ තවත් උත්සාහක දිනුම් දෙකක් තබමින් සාන්ත ජෝශප් විදුහල් පිල ඉදිරියට ගෙන ගියේ ලකුණු 45-17 ක් වශයෙනි. ඊළඟට නෙහාන් පෙරේරා තැබූ උත්සාහක දිනුමින් සිය කණ්ඩායමේ ලකුණු අර්ධ ශතකය වාර්තා කළ සාන්ත ජෝශප් විදුහල් පිල ජයග්‍රහණය පහසු කරගත්තේය.

අවසන් මොහොතේ චමෝද් වනසිංහ උත්සාහක දිනුමක් තැබීම නිසා සාන්ත අන්තෝනි විදුහල් පිලේ ලකුණු සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගියේය.

සාන්ත ජෝශප් විදුහල් පිල වෙනුවෙන් වාර්තා වූ උත්සාහක දිනුම් 8 න් 5 ක්ම ගෝල බවට ප්‍රවර්තනය කිරීමට සමත්විය.

අන්තෝනි - ජෝශප් අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - වරුණ කරුණාසේකර


අදහස් (0)

හැව්ලොක්ස් පිටියේ උත්සාහක දිනුම් වැස්සක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.