Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හැව්ලෝක්ස් ක්‍රීඩකයෝ ගුවන් හමුදාව පරදවති
අන්තර් සමාජ පළමු පෙළ

හැව්ලෝක්ස් ක්‍රීඩකයෝ ගුවන් හමුදාව පරදවති

editorial - 2024 දෙසැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ලීගයේ දෙවැනි සතිය යටතේ ගුවන් හමුදාව සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර සෙනසුරාදා (21 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 30-19 ක ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත් විය. මෙවර තරගාවලියේදී හැව්ලොක් ක්‍රීඩා සමාජය ලැබූ දෙවැනි ජය මෙය විය. 

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 18-11 ක් ලෙස පෙරමුණ ගැනීමටද හැව්ලොක්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. දෙවැනි අර්ධයේදී හැව්ලොක් ක්‍රීඩකයන් තවත් ලකුණු 12 ක් ලබාගනිද්දී, ගුවන් හමුදා ක්‍රීඩකයන්ට ලබාගත හැකි වූයේ ලකුණු 8 ක් පමණි. 

තරගයේ 4 වැනි සහ 6 වැනි විනාඩිවලදී දඬුවම් පහර දෙකක් සාර්ථක කරගත් ගයන්ත ඉද්දමල්ගොඩ ලකුණු 6-0 ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම පෙරමුණට ගෙන ආවේය. එහෙත් 11 වැනි විනාඩියේදී සැමුවෙල් මධුවන්ත සාර්ථක කරගත් දඬුවම් පහර සහ 18 වැනි විනාඩියේදී අබ්දුල්ලා ෆයිස් ලබාගත් උත්සාහක දිනුමත් සමග ලකුණු 8-6 ක් ලෙස ඉදිරියට ඒමට හැව්ලොක් කණ්ඩායමට හැකි විය. 

හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් 23 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගත් සන්දේෂ් ජයවික්‍රම, කණ්ඩායම් දෙකර අතර පැවැති ලකුණු පරතරය 13-6 ක් ලෙස ඉහළ දැමුවේය. එහෙත් ගුවන් හමුදාව වෙනුවෙන් 30 වැනි විනාඩියේදී මනුක පෙරේරා ලබාගත් උත්සාහක දිනුමත් සමග 13-11 ක් ලෙස එම පරතරය තරමක් අඩු විය. 

පළමු අර්ධය නිමාවට පත්වීමට විනාඩි 5 ක් ඉතිරිව තිබියදී එනම් 35 වැනි විනාඩියේදී හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් තෙවැනි උත්සාහක දිනුම වාර්තා කළ ජයතු රාජරත්න ලකුණු 18-11 ක් ලෙස සිය කණ්ඩායමට තරගයේ වැඩි වාසි අත්කර දීමට සමත් විය. 

දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව 46 වැනි විනාඩියේදී ගුවන් හමුදාව වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කරගත් ගයන්ත ඉද්දමල්ගොඩ, 18-14 ක් ලෙස ලකුණු පරතරය අඩු කළේය. කෙසේ වුවත් 49 වැනි විනාඩියේදී හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළ චතුර දිල්ෂාන් 23-14 ක් ලෙස නැවතත් ගුවන් හමුදාව පසුපසට ඇද දැමුවේය. 

හැව්ලොක්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 7 ක් එක් කළ සැමුවෙල් මධුවන්ත, 78 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගනිමින් එහි ප්‍රවර්ථනයද සාර්ථක කරගැනීමට සමත් විය. අවසන් විනාඩියේදී ගුවන් හමුදාව වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට පරාක්‍රම රත්නායක සමත් වුවද, ඉන් තරගයේ ප්‍රතිඵලයට කිසිදු හානියක් සිදු නොවීය.  

ඒ අනුව ලකුණු 30-19 ක් ලෙස ප්‍රසාද ලකුණද සමග තරගයේ ජය තමන් සතුකර ගැනීමට හැව්ලොක්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. තරගයේ 56 වැනි විනාඩියේදී හැව්ලොක් ක්‍රීඩක ශාම් මෙන්ඩිස් නිතී විරෝධී අයුරින් ක්‍රීඩා කිරීම හේතුවෙන් විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පතක් ලැබීය. 


අදහස් (0)

හැව්ලෝක්ස් ක්‍රීඩකයෝ ගුවන් හමුදාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.