Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත ස්වභාවය මේ යයි කදිමට කියා දුන් රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අබුඩාබි නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 21 ක ජයක් කරා ශ්‍රී ලංකා පිල කැඳවාගෙන ගියහ.
තරගයේ අවසන් දිනය වූ අද (2 වැනිදා) ලකුණු 136 ක පහසු ඉලක්කයක් කරා යමින් සිටි පාකිස්තානු කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 114 කට සීමා කළ රංගන හේරත් සිය 400 වැනි ටෙස්ට් කඩුල්ලෙන් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයද සනිටුහන් කළේය.
මෙම ජයත් සමගින් 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලියේදී පරාජය නොවන ස්ථානයකට පැමිණ සිටී.
ලකුණු සංඛ්‍යාව 111 ක්ව තිබියදී ඩිල්රුවන් පෙරේරා යැවූ පන්දුවක් හමුවේ යසීර් ෂා ගෙන් උඩපන්දුවක් ලැබීමත් සමගම පාකිස්තානු දෙවැනි ඉනිම නිමාවූයේ යයි ප්‍රීතියෙන් ඉපිළ ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝත් පුහුණුකරුවෝත් සතුට සමරන්නට වූහ. එහෙත් එය නිපන්දුවක් වූයෙන් පාකිස්තානු පිලට තවත් ලකුණක් එක්වූ අතර නැවතත් තරගය ආරම්භ කිරීමට සිදුවිය. එහෙත් ඊළඟ ඕවරයේදී රංගන හේරත්ගේ පන්දුවක් මොහොමඞ් අබ්බාස්ගේ පා ආවරණයේ වැදීමත් සමගින් පාකිස්තානු උත්සාහය නිමා විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයට පත්ව සිටින රංගන හේරත් ටෙස්ට් කඩුලු 400 ක් දවාගත් ලෝකයේ පළමුවැනි වමත් දඟ පන්දු යවන්නා ලෙසින්ද ක්‍රිකට් ඉතිහාසයට එක්විය. ලෝකයේ වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 795 ක්ද ලෝක කණ්ඩායම වෙනුවෙන් කඩුලු 5 ක් ද දවාගෙන තිබේ. ටෙස්ට් තරග 84 කට ක්‍රීඩා කර ඇති රංගන හේරත් පාකිස්තානු පිලට එරෙහිව දවාගත් ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 101 කි.
පාකිස්තානු දෙවැනි ඉනිම ආරම්භ වීමත් සමගම පන්දුව අතට ගත් රංගන හේරත් සිය දෙවැනි ඕවරයේදීම වැඩ ඇල්ලීය. 395 වැනි ටෙස්ට් කඩුල්ල සටහන් කරමින් සාමි අස්ලම් පිටියෙන් ඉවත් කළ වමත් දඟ පන්දු යවන්නා අසාඞ් ශෆීක් පිටියෙන් ඉවත් කිරීමට යැවූයේ විස්මිත පන්දුවකි. ශෆීක්ගේ පිත්තෙන් ඇදී ගිය උඩපන්දුව රැකගැනීමත් සමගින් පාකිස්තානු පිලේ පස්වැනි කඩුල්ලත් ලකුණු 36 දී බිඳ වැටුණද කෝඩුකාරයට එක්වූ නායකයා ලකුණු සංඛ්‍යාව 78 ක් දක්වා කණ්ඩායම තල්ලු කරගෙන ගියේය.
හේරත්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසුවූ අර්ෆ්‍රාස්ගේ දැවීයාමත් පාකිස්තානයේ පරාජයත් අතර තිබුණේ ලකුණු 36 ක් පමණි. රංගන හේරත් සහ ඩිල්රුවන් දෙදෙනා හමුවේ පාකිස්තානු පිතිකරුවන් කෙතරම් සසළ වී සිටියේද යත් ඉනිමේ පළමු හතරේ පහර ගැසීමට ඕවර 26 ක් බලා සිටීමට ඔවුන්ට සිදුවිය.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ අවසන් කඩුලු හයම ඕවර 26 ක් තුළදී බිම දැමූ පාකිස්තානුවෝ ජයග්‍රහණය සඳහා ලකුණු 136 ක පහසු ඉලක්කයක් සකස්කර ගත්හ. තරගයේ සිවුවැනි දිනය වූ ඉරිදා සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 69 ක් ලබා සිටි අතර අද පෙරවරුවේදී ලකුණු 69 ක් ඇතුළත ඉතිරි කඩුලු හයම අහිමි කරගත්තේය. එකොළොස්වැනි වතාවටත් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් යසීර් ෂා (51/5) ශ්‍රී ලංකා ඉනිමේ විනාශකාරයා විය.
ශ්‍රී ලංකා - පාකිස්තානු පළමු ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.