Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෆෙඩරර් අටවැනි විම්බල්ඩන් ශූරතාව සොයයි

ෆෙඩරර් අටවැනි විම්බල්ඩන් ශූරතාව සොයයි

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ටෙනිස් පිටියේ වයසට නොයන ක්‍රීඩකයකු ලෙස ප්‍රකට ස්විට්සර්ලන්තයේ සුපිරි ක්‍රීඩක 35 හැවිරිදි රොජර් ෆෙඩරර් හෙට (16) ලන්ඩනයේ ඕඞ්ල් ඉන්ග්ලන්ඞ් ක්ලබ් හී දී ක්‍රොඒෂියාවේ මරීන් සිලික් සමග සටනට බසින්නේ සිය අටවැනි විම්බල්ඩන් කිරුළ අතට ගැනීමේ අරමුණ ඇතිවය. මීට පෙර ග්‍රෑන්ඞ් ස්ලැම් ටෙනිස් ශූරතා 18 ක්ම දිනා වාර්තාපොතේ පෙරමුණේ පසුවන මේ ස්ව්ට්සර්ලන්ත ජාතිකයා විම්බල්ඩන් ටෙනිස් පිටියේ ජනප්‍රියතම ක්‍රීඩකයා ද වෙයි.

ෆෙඩරර් මේ දක්වා ගෙදර ගෙන ගිය ග්‍රෑන්ඞ් ස්ලැම් කුසලාන 18 න් 7 ක්ම අත්කරගත්තේ විම්බල්ඩන් පිටියේදීය. ඊට අමතරව විම්බල්ඩන් අනුශූරතා 4 ක්ද ඔහුගේ කුසලාන කැබිනෙට්ටුවේ පෙනෙන්නට තිබේ.

අන්තර්ජාතික ටෙනිස් පිටියේ වත්මන් ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි තැන පසුවන ෆෙඩරර් අවසන් වරට විම්බල්ඩන් කිරුළක් දිනාගත්තේ වසර 2012 දීය. ඉන් අනතුරුව ඔහුට විම්බල්ඩන් කිරුළක් තියා කිසිම ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළක් වත් ලැබී නැත. එබැවින් හෙට (16 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30 ට ක්‍රොඒෂියානු ජාතිකයා සමග කෙරෙන තරගයේ ප්‍රතිඵලය ඔහුට සෑහෙන වටිනා එකක් වනු නිසැකය.

අවුරුදු 35 කුත්, දින 343 ක් වයසට ගොස් සිටින ෆෙඩරර් විම්බල්ඩන් තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ දෙවැනි වයස්ගතම ක්‍රීඩකයාය. ඊට පෙර ඕස්ටේ්‍රලියාවේ කෙන් රොස්වෝල්  1974 වසරේ විම්බල්ඩන් අවසන් තරගයට එක්වෙද්දී ඔහුට අවුරුදු 39 කුත්, දින 24 කි.

මෙවර ශූරයාට සහ ශුරියට බි්‍රතාන්‍ය පවුම් මිලියන 2.2 ක් බැගින් මුදල් කන්දරාවක් පිරිනැමෙන අතර එය පසුගිය වසරට වඩා වැඩිය.  එසේ වුවත් මේ අතිශය ධනවත් ටෙනිස් තරුවට මුදලට වඩා වටින්නේ කුසලානයයි. එය ඔහුගේ කීර්තියත්, ආධිපත්‍යයත් තවදුරටත් ටෙනිස් පිටියේ පතුරුවාලීමට ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇත.

ෆෙඩර්ර් සමග හෙට තරගයට පිවිසෙන 28 හැවිරිදි මරීන් සිලික් කෙරෙහි අඩුවෙන් තක්සේරු කරන්නට බැරිය. ඔහු 2014 දී අමෙරිකානු විවෘත ටෙනිස් කිරුළ දිනාගත්තේ ෆෙඩරර් පරාජය කරමිනි. අනිත් අතට ඔහු විම්බල්ඩන් ටෙනිස් කිරුළට කුරුමානම් අල්ලමින් සිටින්නේ වසර 2014 සිටය. එදා සිට එක දිගට පසුගිය වසර දක්වාම අර්ධ අවසන් පූර්ව වටයට සේන්දු වූ මේ ක්‍රීඩකයා මෙවර සිහිනය සැබෑ කරගැනීමේ අටියෙන් පසුවෙයි.
 
‘මේක මට ලෝකයටත් වඩා ලොකු ජයග්‍රහණයක් වේවි. 2014 අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාව මගේ පළමුවැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළයි. හෙට මං දිනන්න යන්නේ දෙවැනි එකයි. ඒක එක අතකට ලොකු කන්දක් තරණය කරනවා වගේ වැඩක්. අනිත් අතට විම්බල්ඩන් පිටිය කියන්නේ ෆෙඩරර්ට හරියට එයාගේ ගෙදර වගේ. කොහොමවුණත් මට පුදුම ආත්ම විශ්වාසයක් තියෙනවා.‘ මරීන් එසේ කියයි.

හෙටින් නිමාවට පත්වන්නේ 131 වැනි විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියයි.

 

සැකසුම : මොහාන් ප්‍රනාන්දු


අදහස් (0)

ෆෙඩරර් අටවැනි විම්බල්ඩන් ශූරතාව සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.