Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ​ශ්‍රී ලංකා කණ්ඩායමට 15 ක්
පැරිස් ඔලිම්පික් - 2024

​ශ්‍රී ලංකා කණ්ඩායමට 15 ක්

editorial - 2024 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

පැරිස් ඔලිම්පික් උළෙල සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6 දෙනෙක් සහ නිලධාරීහු 9 දෙනෙක් ඇතුළත් වෙති. කොළඹදී  අද (8 වැනිදා) පැවැති විශේෂ  මාධ්‍ය  හමුවකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ  ප්‍රධානී  චන්දන ලියනගේ මහතා ඒ බව පැවැසීය.

ජාතික  ඔලිම්පික් කමිටුවේ  සභාපති සුරේෂ්  සුබ්‍රමනියම්, එහි මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා, ක්‍රීඩා  අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය  ෂේමාල්  ප්‍රනාන්දු, ශ්‍රී  ලංකාවේ ප්‍රංශයේ වැඩබලන  තානාපතිනි මාරිඒ නොඑලේ ඩුරිස් යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් මෙම මාධ්‍ය  හමුව ජාතික  ඔලිම්පික්  කමිටු ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

ජූලි 26 වැනිදා ආරම්භ වන 33 වැනි ගිම්හාන  ඔලිම්පික්  උළෙල  ප්‍රංශයේ  පැරිස්  නුවරදී අගෝස්තු  11 වැනිදා  දක්වා පැවැත්වෙයි. ඒ සඳහා රටවල් 205 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 10,500 ක් පමණ සහභාගි වෙති. ඊට ක්‍රීඩා 32 ක් ඇතුළත් වේ. 

ශ්‍රී ලංකාවෙන් ඒ සදහා  නිර්දේශ  ලබා ගත් එකම ක්‍රීඩකයා වන්නේ බැඩ්මින්ටන්  ක්‍රීඩක විරේන් නෙත්තසිංහ  පමණි. 

මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන තරුෂි  කරුණාරත්න ( මීටර්  800 - කාන්තා), නදීෂා  දිල්හානි  ලේකම්ගේ (හෙල්ල විසි කිරිම - කාන්තා), අරුණ  දර්ශන ( මීටර්  400 - පිරිමි) ශ්‍රේණිගත  ලකුණු  ක්‍රමය ඔස්සේ ඒ සදහා නිර්දේශ ලබා සිටිති.

පංගු ක්‍රමය හෙවත් වයිල්ඩ් කාඩ් ක්‍රමයෙන් ශ්‍රී  ලංකාවට පිහිනුම් ක්‍රීඩාවෙන් ප්‍රදානය කෙරුණු අවස්ථා දෙක සදහා කයිල් අබේසිංහ හා ගංගා සෙනවිරත්න  නිර්දේශ කිරීමට ශ්‍රී  ලංකා ජල ක්‍රීඩා  සංගමය පියවර ගත්තේය.

පුහුණුකරුවන් ලෙස අසංක රාජකරුණා, සුසන්ත ප්‍රනාන්දු, ප්‍රදීප් නිශාන්ත හා මනෝජ් අබේසිංහ යන මහත්වරුන් පැරිස් ඔලිම්පික්  උළෙලට සහභාගි වෙති. 

සමස්ත ශ්‍රී  ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස  පත් කර සිටින හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා 37 හැවිරිදි  නදීෂා  දිල්හානි ලේකම්ගේ සමාරම්භක  උත්සවයේදී ශ්‍රී  ලංකා ධජය  රැගෙන යාමට අවස්ථාව  ලබනු ඇත.

ශ්‍රී  ලංකා කණ්ඩායම,  ක්‍රීඩා  ඉසව් යෙදී තිබෙන  ආකාරයට, මෙම  17 වැනිදා සිට  කඩින් කඩ පැරිස්  නුවර බලා පිටත්ව යයි. ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානී චන්දන ලියනගේ මහතා පැවැසුවේ තම තමන්ගේ ඉසව්ව අවසන් වීමෙන් දින දෙකක්  තුළදී ඔලිම්පික් ක්‍රීඩා ගම්මානයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරින් පිට විය යුතු බවට තරග සංවිධායකයන් ගෙන් උපදෙස්  ලැබී තිබෙන බවයි.

ජාතික  ඔලිම්පික්  කමිටුවේ  මහ ලේකම් මැක්ස්වෙල් ද  සිල්වා මහතා පැවැසුවේ ශ්‍රී  ලංකා කණ්ඩායමේ සියලු වියදම්  ජාතික ඔලිම්පික් කමිටුව  විසින් දරන බවයි. පැරිස් ඔලිම්පික් උළෙල සදහා   සුදුසුකම්  ලේඛනයෙන් අවස්ථාව ලබා ගත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු පමණක් වූවත් එය ඇතැම් රටවල් හා සාපේක්ෂව  ධනාත්මක වන බවද මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවැසීය.

ක්‍රීඩා  අධ්‍යක්ෂ  ජනරාල් මහාචාර්ය  ෂේමාල්  ප්‍රනාන්දු  මහතා මාධ්‍ය  හමුව අමතමින් පැවැසුවේ මෙවර පැරිස්  ඔලිම්පික්  ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනීමේදී ශ්‍රී  ලංකාවේ යම් පසු බැසීමක් පෙණෙන බවයි. ක්‍රීඩා  අමාත්‍යාංශයෙන් හා ජාතික  ඔලිම්පික්  කමිටුවෙන් ඒ වෙනුවෙන් පහසුකම් රැසක් ලබා ගත් ජාතික  ක්‍රීඩා සංගම් වල දැඩි අවධානයට මෙම කාරණාව යොමු විය යුත්තක් බව ද මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා පැවසීය. 

 

පැරිස්  ඔලිම්පික්  උළෙලට සහභාගි  වන ශ්‍රී  ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ   (වමේ සිට)
ගංගා සෙනවිරත්න, අරුණ  දර්ශන, තරුෂි කරුණාරත්න, දිල්හානි ලේකම්ගේ සහ කයිල් අබේසිංහ. බැඩ්මින්ටන්  ක්‍රීඩක විරේන් නෙත්තසිංහ විදේශගතව සිටින බැවින් මෙම අවස්ථාවට සහභාගි  නොවීය. පැරිස්  ඔලිම්පික්  උළෙලේදී ශ්‍රී  ලංකා කණ්ඩායමේ නිල ඇඳුමෙන් පිහිනුම් ක්‍රීඩිකා ගංගා සෙනවිරත්න හා කයිල් අබේසිංහ  සැරසී සිටිති.


අදහස් (1)

​ශ්‍රී ලංකා කණ්ඩායමට 15 ක්
  • hemantha Tuesday, 09 July 2024 06:52 AM

    මොකක්ද මේ නිල ඇඳුම...?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.