Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශී‍්‍ර ලංකා පිල අපරාජිතව ඉදිරියටම

ශී‍්‍ර ලංකා පිල අපරාජිතව ඉදිරියටම

ශනුක අරවින්ද - 2014 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේදී දැන් පැවැත්වෙන ආසියානු යොවුන් වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩකයෝ අපරාජිතවම ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලබා ගැනීමට අද (08) සමත් වූහ. කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ අද (08) පස්වරුවේ පැවැති පළමු වටයේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා පිල වට 3-0 කින් කසකස්තාන් පිල පරාජය කළ අතර එම ජයග‍්‍රහණයත් සමග ශ්‍රී ලංකාව පළමු වටයේ තරග තුනම ජය ලබා ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානයට පත්විය.

ශ්‍රී ලංකාව ‘සුපිරි අට’ වටයේ පළමු තරගයට හෙට (09) පස්වරු 2.00 ට චීනයට එරෙහිව තරග කිරීමට නියමිත අතර දෙවැනි තරගය අනිද්දා (10) පස්වරු 2.00 ට චීන තායිපේ පිලට එරෙහිව පැවැත්වේ.

කසකස්තාන් පිලට එරෙහිව විශිෂ්ට දස්කම් ප‍්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා යොවුන් කී‍්‍රඩකයෝ 1000 කට අධික පේ‍්‍රක්‍ෂකයන් කුල්මත් කළහ. එහිදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ 25-15, 25-16 සහ 25-20 ක් ලෙස වට තුන නිමකරමින් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 9 ක් බවට ඉහළ නංවා ගනිමින් ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිල පළමු වටය ආරම්භයේ සිටම පෙරමුණේ සිටිමින් 25-15 ක පසු ජයක් සටහන් කළේය.

කසකස්තාන් පිල දෙවැනි වටයේදී සිය උපක‍්‍රමය වෙනස් කරමින් කෙටි ඔසවාදීමට ඩෑෂ් පහර ගැසීමේ ප‍්‍රතිඵලයක් ලෙසින් පළමු තාක්‍ෂණික කෙටි විවේකය වන විට ලකුණු 8-6 ක් ලෙස පෙරමුණට පැමිණියේය.

විවේකයෙන් පසුව පිරිනැමීම් පහකදී ලකුණු 4 ක් ලබාගත් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 10-9 ක් ලෙස ඉදිරියට පැමිණෙමින් 25-16 ක් ලෙස දෙවැනි වටයේද පහසු ජයක් ලැබූහ.

නායක ෂෙහාන් ලක්‍ෂිත, ලක්‍ෂාන් චමුදික, රෙහාන් මධුසංඛ සහ විනෝද් මධුරංග කෙටි සහ දිගු ඔසවාදීම වලට ගැසූ ඩෑෂ් පහර කසකස්තාන් පිල පසු පසට තල්ලූ කළේය.

උස ක‍්‍රීඩකයන් වන ෂෙහාන් ලක්‍ෂිත වම් කෙළවරෙන්ද, විනෝද් මධුරංග දකුණු කෙළවරෙන්ද, ඉහළට ඉපිළෙමින් ගැසූ වේගවත් ඩෑෂ් පහරවලට, උසෙන් අඩු ක‍්‍රීඩක රෙහාන් මධුසංඛ පිටියේ මැද සිට මෙන්ම අවස්ථානුකූලව සෑම ස්ථානයක සිට විශිෂ්ට ලෙස ගැසූ ඩෑෂ් පහර මුසුවීමෙන් ප‍්‍රතිවදීන් ඇද වැටුණි.

වඩාත් උස ක‍්‍රීඩකයන් වන ලක්‍ෂාන්, විනෝද් සහ විශ්ව ඉදිරි පෙළ ආරක්‍ෂක ක‍්‍රීඩකයන් ලෙස ක‍්‍රීඩා කරද්දී කසකස්තානු ඩෑෂ් ප‍්‍රහාරකයන් හමුවේ දැවැන්ත පවුරක් බදු විය.

වාද්දුව පොතුපිටිය මහ විදුහලෙන්, වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලට එකතු වූ ශ්‍රී ලංකා යොවුන් පිලේ නායක ෂෙහාන් ලක්‍ෂිත උඩ පැන පන්දුව පිරිනැමීමෙන් ශ්‍රී ලංකා පිලට පහසු ලකුණු 10 ක් පමණ ලබාදීම ජයග‍්‍රහණය පහසු කළේය.

විශ්ව චංකම ඉදිරි පෙළ ක‍්‍රීඩකයකු ලෙස දැළ අසළ පන්දුව කෙටි සහ දිගු ලෙස නිවැරදිව සකසාදීමත්, ලිබරෝ ක‍්‍රීඩක චාමික පෙරේරා පන්දුව ඔසවාදීමත් විශිෂ්ට තත්ත්වයක පැවතීම ප‍්‍රහාරක කී‍්‍රඩයකයන්ට ඉතා වාසි සහගත තත්ත්වයක් වී තිබිණ.

තෙවැනි වටයේ දෙවැනි තාක්‍ෂණික කෙටි විවේකය වන විට ශ්‍රී ලංකා පිල  ලකුණු 16-9 ක් ලෙස ඉරියෙන් සිටිය ද, ලකුණු 20-10 ක්ව තිබියදී කසකස්තානු පිල අඛණ්ඩව ලකුණු 7 ක් ලබා ගැනීමෙන් පහසුවෙන් ජය ලැබීමට තිබූ අවස්ථාව 25x20 ක් බවට පත්විය.

සුපිරි අට වටයේ තරග කාලසටහන (සියලූම තරග සූගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ)

හෙට (09) පැවැත්වෙන තරග

  • සෞදි ආරාබිය සහ මාලදිවයින අතර පෙරවරු 10.00
  • හොං කොං සහ කසකස්තානය අතර මධ්‍යාහන 12.00
  • ශ්‍රී ලංකාව සහ චීනය අතර පස්වරු 2.00
  • චීන තායිපේ සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පස්වරු 4.00
  • ඉරානය සහ දකුණු කොරියාව අතර පස්වරු 6.00
  • ජපානය සහ ඉන්දියාව අතර පස්වරු 8.00

අනිද්දා (10) පැවැත්වෙන තරග

  • තුර්ක්මෙනිස්තානය සහ කටාර් රාජ්‍ය අතර පෙරවරු 10.00
  • ඕස්ටේ‍්‍රලියාව සහ චීනය අතර මධ්‍යහන 12.00
  • ශ්‍රී ලංකාව සහ චීන තායිපේ අතර පස්වරු 2.00
  • ඉන්දියාව සහ දකුණු කොරියාව අතර පස්වරු 4.00
  • ඉරානය සහ ජපානය අතර පස්වරු 6.00

ඡායාරූප - ඉෂාන් සංජීව


අදහස් (0)

ශී‍්‍ර ලංකා පිල අපරාජිතව ඉදිරියටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.