Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව vollyball_inner ඩී. එස්. අයි. ශූරතාවලියට කණ්ඩායම් 3500 ක්

ඩී. එස්. අයි. ශූරතාවලියට කණ්ඩායම් 3500 ක්

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් වොලිබෝල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාතික මට්ටමට රැගෙන එන ඞී. එස්. අයි සුපර් ස්පෝට්ස් පාසල් වොලිබෝල් තරගාවලිය මැයි මස 7 වැනිදා ඇරැඹෙයි.

දිස්ත‍්‍රික් තරග වටයෙන් ආරම්භ වන මෙම තරගාවලිය වයස 14 න් පහළ, 16 න් පහළ සහ වයස 18 න් පහළ යන වයස් කාණ්ඩ තුනකින් බාලක සහ බාලිකා යන අංශ දෙකින්ම පැවැත්වේ.

තරගාවලිියට ඇතුළත් ශූරතා ගණන 6 කි.

කළුතර, අනුරාධපුරය, මහනුවර, කෑගල්ල, ත‍්‍රිකුණාමලය, යාපනය, මන්නාරම සහ මුලතිව් යන දිස්ත‍්‍රික් හතක තරග මැයි මස 7 වැනිදා සිට 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

දිස්ත‍්‍රික් තරග වටය අදියර හතරකින් ක‍්‍රියාත්මක වේ. මැයි මස 7 වැනිදායින් පසුව මැයි මස 12 වැනිදා සිට 16 වැනිදා දක්වා දෙවැනි අදියර දිස්ත‍්‍රික් 10 ක පැවැත්වෙන අතර තෙවැනි අදියර මැයි 28 සිට 30 දක්වා දිස්ත‍්‍රික් පහක දී පැවැත්වේ.

ජුනි මස 3 වැනිදා සිට 6 වැනිදා දක්වා දිස්ත‍්‍රික් තුනකදී පැවැත්වෙන තරගවලින් පසුව දිස්ත‍්‍රික් තරග වටය නිමාවේ. ජාතික මට්ටමේ තරග ජුනි මස 20 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වෙන අතර අවසන් මහ තරග ජුලි මස 15 සහ 16 දෙදින කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.
 
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ පූර්ණ අධීක්‍ෂණය ඇතිව, ඞී. සැම්සන් සහ පුත‍්‍රයෝ සමාගම (ඞී.එස්.අයි) එක්ව 16 වැනි වරත් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ වසර දෙකක කාලයකට පසුවය.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරංදික වැලිඅංගගේ මහතා පැවසුවේ ඞී. එස්. අයි පාසල් තරගාවලිය ආරම්භ කරන ලෙස දිවයිනේ නන් දෙසින් විශාල ලිපි ප‍්‍රමාණයක් සම්මේලනයට ලැබී තිබු බවත්, මේ සම්බන්‍ධයෙන් ඞී. එස්. අයි ආයතනය සමඟ සාකච්ඡුා කර ඔවුන්ගේ එකඟතාවයෙන් යළිත් තරගාවලිය මෙම වසරේ සිට ආරම්භ කිරීමට පියවර ගත් බවත්ය.

කණ්ඩායම් 198 ක සහභාගීත්වයෙන් 1999 වසරේ ආරම්භ වු ඞී. එස්. අයි පාසල් වොලිබෝල් තරගාවලිය මේ වන විට කණ්ඩායම් 3000 සීමාව ඉක්මවාලමින් දිවයිනේ ජනප‍්‍රියතම වොලිබෝල් තරගාවලිය බවට පත්ව තිබේ.

මේ වන විටත් අයැදුම්පත් 3285 ක් ලැබී ඇතැයි පවසන සංවිධායකවරු තවත් අයැදුම්පත් දිවයින පුරා පිහිටි ඞී. එස්. අයි ප‍්‍රදර්ශනාගාර වලින් ලැබෙමින් පවතින බවද පැවසුහ. මෙවර ඔවුන් කණ්ඩායම් 3500 ඉක්මවාලන සහභාගීත්වයක් අපේක්ෂාවෙන් පසුවෙයි.

තරගාවලිය එක්වරම වසර දෙකක කාලයක් නොපැවැත්වීමට තීරණය කිරීම සම්බන්‍ධයෙන් අනුග‍්‍රාහක ඞී.එස්.අයි. ආයතනයේ අලෙවි ප‍්‍රධානි, වොලිබෝල් සම්මේලනයේ හිටපු උප සභාපතිවරයකු වන රොහාන් සෝමවංශ මහතා සඳහන් කළේ තම සමාගමට තරගාවලියට අනුග‍්‍රහය දැක්වීම කෙරෙහි ඉලක්කයක් තිබු බවත්, එම ඉලක්කය සපුරා ගැනීමෙන් පසුව 2013 වසරේ සිට තරගාවලිය කෙරෙහි වැඩි උනන්දුවක් නොදැක්වු බවත්ය.

එහෙත් මෙතැන් පටන් තරගාවලිය පැවැත්වීම සඳහා සිය ආයතනයේ අනුග‍්‍රහකත්වය ඉදිරියට පිරිනමන බවද සෝමවංශ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම වසරේදී ‘සියවස’ සමරන ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මෙතෙක් අඩපණව පැවැති තරගාවලි ඇතුළු ප‍්‍රධානතම දේශීය තරගාවලි හතරක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.

 

දිස්ත‍්‍රික් තරග වටයේ සැලැස්ම


මැයි 7 සිට 9 වැනිදා දක්වා

කඵතර දිස්ත‍්‍රික්කය (මැයි 7, 8, 9) - නෑබොඩ වරකාගොඩ මධ්‍ය මහ විද්‍යාලය
අනුරාධපුර දිස්ත‍්‍රික්කය (මැයි 7, 8, 9) - අනුරාධපුර මධ්‍ය මහ විද්‍යාලය
මහනුවර දිස්ත‍්‍රික්කය (මැයි 7, 8, 9) - නුගවෙල මධ්‍ය මහ විද්‍යාලය
කෑගල්ල දිස්ත‍්‍රික්කය (මැයි 7, 8) - රුවන්වැල්ල  රාජසිංහ මධ්‍ය මහ විද්‍යාලය
ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කය (මැයි 7, 8, 9) - කින්නියා එලිල් අරන්ගු ක‍්‍රීඩාංගණය
මන්නාරම දිස්ත‍්‍රික්කය (මැයි 7, 8) - මන්නාරම අල් අසාර් මධ්‍ය විද්‍යාලය
මුලතිව් දිස්ත‍්‍රික්කය (මැයි 7, 8) - මුලතිව් විද්‍යානන්ද විද්‍යාලය


මැයි මස 12 සිට 16 වැනිදා දක්වා

පුත්තල දිස්ත‍්‍රික්කය (මැයි 14, 15, 16) - නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහ විද්‍යාලය
පොලොන්නරුව දිස්ත‍්‍රික්කය (මැයි 12, 13) - පොලොන්නරුව තෝපා වැව මධ්‍ය විද්‍යාලය
මාතලේ දිස්ත‍්‍රික්කය (මැයි 14, 15, 16) - නාවුල්ල මහජන ක‍්‍රීඩාංගණය
යාපනය දිස්ත‍්‍රික්කය (මැයි 14, 15, 16) - තෙරපායි කතෝලික විද්‍යාලය
බදුල්ල දිස්ත‍්‍රික්කය (මැයි 14, 15, 16) - බණ්ඩාරවෙල මහජන ක‍්‍රීඩාංගණය
රත්නපුර දිස්ත‍්‍රික්කය (මැයි 14,15) - ගොඩකවෙල කුලරත්න මධ්‍ය විද්‍යාලය
මාතර දිස්ත‍්‍රික්කය (මැයි 14,15) - දෙනියාය මධ්‍ය මහ විද්‍යාලය
අම්පාර දිස්ත‍්‍රික්කය (මැයි 14, 15, 16) - මහඔය කැප්පෙටිපොළ මහ විද්‍යාලය
වවුනියාව දිස්ත‍්‍රික්කය (මැයි 13, 14, 15) -  ඕමන්තෙ මධ්‍ය විද්‍යාලය
කිළිනොච්චිය දිස්ත‍්‍රික්කය (මැයි 14, 15) - කිළිනොච්චිය මධ්‍ය මහ විද්‍යාලය


මැයි මස 28 සිට 30 දක්වා

කොළඹ දිස්ත‍්‍රික්කය (මැයි 28, 29, 30) - හංවැල්ල මධ්‍ය මහ විද්‍යාලය
කුරුණෑගල දිස්ත‍්‍රික්කය (මැයි 28,29,30) - කුරුණෑගල මාලිගාපිටිය ක‍්‍රීඩාංගණය
නුවරඑළිය දිස්ත‍්‍රික්කය (මැයි 28, 29, 30) - කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසල
ගාල්ල දිස්ත‍්‍රික්කය (මැයි 28, 29) - ගාල්ල පාසල් ක‍්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ක‍්‍රීඩාංගණය
මඩකලපුව දිස්ත‍්‍රික්කය (මැයි 28, 29, 30) - සදේවෙලි සිද්දි වින්‍යාගර් විද්‍යාලය


ජුනි මස 3 වැනිදා සිට 6 දක්වා

හම්බන්තොට දිස්ත‍්‍රික්කය (ජුනි 4 ,5) - හුංගම විජය බා විද්‍යාලය
ගම්පහ දිස්ත‍්‍රික්කය (ජුනි 4, 5, 6) - සීදුව දවිසමර මධ්‍ය විද්‍යාලය
මොනරාගල දිස්ත‍්‍රික්කය (ජුනි 3, 4, 5) - මොනරාගල සූ.සී.ක‍්‍රීඩාංගණය

 

ඞී. එස්. අයි. සුපර් ස්පෝට්ස් පාසල් වොලිබෝල් තරග මාලාවට අනුග‍්‍රහය දක්වන ඞී. එස්. අයි. ආයතනය වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති එරංදික වැලිඅංගගේ මහතාට අනුග‍්‍රහය නිල වශයෙන් ප‍්‍රදානය කළ අයුරු.
ඞී. එස්. අයි. ආයතනයේ ප‍්‍රධාන විධායක රුවන් කන්නංගර, ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු උපේන්ද්‍ර ගුණවර්ධන, එහි අලෙවි ප‍්‍රධානි රොහාන් සෝමවංශ, වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක, පාසල් වොලිබෝල් සංගමයේ සභාපති ලාල් දිසානායක, කී‍්‍රඩා අධ්‍යක්ෂ උපාලි අමරතුංග යන මහත්වරුද මෙහි වෙති.

 


අදහස් (0)

ඩී. එස්. අයි. ශූරතාවලියට කණ්ඩායම් 3500 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.