ශ්‍රී ලංකා සිංහයෝ සුපිරි වටයට එති
තියුණු සටනකින් පසුව සත්කාරක මියන්මාරයේ ‘ඒෂියා වර්ල්ඞ්’ ක්‍රීඩා සමාජ කණ්ඩායම වට 3/2 කින් පරාජය කළ ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම මියන්මාරයේ නායිෆෙයි තා නුවර දී දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් (පිරිමි) තරගාවලියේ සුපිරි අට වටයට පිවිසීමට සමත්විය.
හෙට (4) කසකස්තානයට එරෙහිව පැවැත්වෙන තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා ලයන්ස් සමත්වන්නේ නම් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ද ශ්‍රී ලංකා පිලට තිබේ. එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජ කණ්ඩායමක් ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලියක දී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන පළමු අවස්ථාව මෙය වන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා ‘ලංකාදීප’යට පැවසීය.
කෙසේ වුවත් කසකස්තානයේ ඇතිරායු වී.සී. කණ්ඩායමෙ හමුවේ ශ්‍රී ලංකාව අද තරගය පරාජයට පත් වුවහොත් එතැන් සිට ඔවුන්ට පස්වැනි ස්ථානයේ සිට අටවැනි ස්ථානය දක්වා ශ්‍රේණිගත කිරීමේ තරග වටයට සහභාගි වීමට සිදුවේ.
මින් පෙර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලියක දී උපරිම දක්ෂතා ලෙස පළකර ඇත්තේ සුපිරි අට වටයට පිවිසීමයි.
රටවල් 16ක ජාතික වොලිබෝල් ශූරතා දිනූ ප්‍රබලතම කණ්ඩායම් ගැටෙන මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව මේ දක්වා පිට පිටම තරග හතරක් ජය ගැනීමට සමත්වීම ද මෙතෙක් ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලියක දී ඔවුන්ගේ ඉහළම දක්ෂතාවක් බවට පත්ව තිබේ.
ඕස්ට්‍රේලියාවේ ‘කබීරා හාට්’ (වට 3/0) තායිලන්තයේ ‘කාකොන් රංචයිමාද මෝල්’ (3/0) හා හොංකොංහි ‘යන්චායි’ (3/0) යන කණ්ඩායම් එහිදී ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම අතින් පරාජයට පත්විය.
මෙම තරගාවලිය සඳුදා (6) නිමාවට පත්වන අතර අවසන් පූර්ව තරග ඉරිදා (5) පැවැත්වීමට නියමිතය. අවසන් මහ තරගය සඳුදා පස්වරුවේ දී පැවැත්වේ.
තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකාවේ ‘ලයන්ස්’ කණ්ඩායමට සර්බියානු පුහුණුකරු ඩෙජාන් මුලිසිටිත් මහතාගේ සේවය ද ලැබී තිබෙන අතර ඔහු මේ වනවිට ශ්‍රී ලංකාවේ සේවයට කැඳවා ඇත්තේ කොළඹ දී ආරම්භ වන පළමු ආසියානු අභියෝග ශූරතා (පිරිමි) වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සේවය සඳහාය.
මෙම ජාත්‍යන්තර ක්‍රීඩා සමාජ තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකු හැරෙන්නට සෙසු ක්‍රීඩකයන් මෙම 18 වැනිදා ජකර්තා නුවර දී ඇරඹෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ පළමු වතාවට ඒ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ද නිර්දේශ වී සිටියි.