Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව W T20 World Cup 2024 මං නැඟිට්ටොත් කණ්ඩායමත් නැඟිටීවි - චමරි
කාන්තා විස්සයි-20 ලෝක කුසලාන

මං නැඟිට්ටොත් කණ්ඩායමත් නැඟිටීවි - චමරි

editorial - 2024 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ඩුබායි සිට..)

පසුගිය තරග දෙකේදී කණ්ඩායම ලැබූ පරාජයන්ට තමාගේ අසාර්ථකත්වය බෙහෙවින්ම බලපෑ බවත්, ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගයේදී යළිත් දස්කම් අතරට පැමිණෙමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසුවාය. 

ඇය ඒ බව කියා සිටියේ ඉන්දීය තරගයට පෙර අන්තර් ජාතික ක්‍රිකට් විද්‍යායනත ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රි ලංකා කණ්ඩායමේ අවසන් පුහුණු සැසිය ආරම්භ වීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩාය‍මේ යළි නැගීසිටිම පිළිබඳව ඇය මෙසේද අදහස් දැක්වූවාය. 

නිලක්ෂි ද සිල්වා

“පහුගිය තරග දෙකේදී අපි අපේ සුපුරුදු රිද්මයෙන් ක්‍රීඩ‍ා ‍කළේ නෑ. විශේෂයෙන් අපේ පිතිකාරිණියො. ඒ විතරක් නෙමෙයි පන්දු රැකීමෙදි අපේ අතින් උඩ පන්දු කිහිපයක්ම ගිළිහී ගියා. කණ්ඩායමේ නායිකාව හැටියට මෙතනදි ලොකුම වගකීම තියෙන්නෙ මට. මේ තරග දෙකේදීම ආරම්භක පිතිකාරිණිය හැටියට මට කණ්ඩායමට අවශ්‍ය ගැම්ම අරන් දෙන්න මට බැරිවුණා.”

“පහුගිය කාල වකවානුව පුරාවටම මම කණ්ඩායමට අවශ්‍ය ඒ ගැම්ම අරන් දුන්නා. එතකොට අනිත් පිතිකාරිණියන් ඒක දිගටම අරන් ගියා. ඒත් මේ තරග‍ දෙකේදි මම වැටුණා. මගෙන් පස්සෙ ආපු පිතිකාරිණියන්ටත් ගොඩ එන්න බැරි වුණා. ඒ නිසා මම හිතනවා කණ්ඩායමේ නායිකාව හැටියටත්, කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පිතිකාරිණිය හැටියටත් නැවතත් මම දස්කම් අතරට එන්න ඕන.”

“එතකොට අනිත් පිතිකාරිණියනුත් ඒ ගැම්ම අරගෙන දස්කම් අතරට ඒවි කියලා මම හිතනවා. අපිට දැන් නැති වෙන්න දෙයක් නෑ, නැතිවෙන්න දෙයක් තියෙන්නෙ ඉන්දියාවට. ඒ නිසා පීඩනය වැඩි ඔවුන්ට. ඒ නිසා මේ තරගයෙදි හොඳ ආරම්භයක් අරන් දීලා තරගය ජයග්‍රහණය කරා මෙහෙයවන්න මම බලාපොරොත්තු වෙනවා.” යැයි නායිකාව කියා සිටියාය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකාරිණී නිලක්ෂි ද සිල්වාගේ 100 වැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මෙය වන අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චමරි කියා සිටියේ නිලක්ෂි, පෞද්ගලික දස්කම් පසෙකලා රට වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩිකාවක් බවත්, ඇයගේ 100 වැනි තරගය ජයග්‍රහණයකින් නිමා කර ඇයට අමතක නොවන මතක සටහනක් තිළිණකර දීමට තමා ඇතුළු කණ්ඩායම කටයුතු කරන බවත්ය.

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය හෙට (9 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30 ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනස්කම් කිහිපයක් සමග මෙම තරගයට සහභාගි වීමට නියමිතය. 


අදහස් (0)

මං නැඟිට්ටොත් කණ්ඩායමත් නැඟිටීවි - චමරි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.