Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Windies in SL Series 2024 භානුකගේ භූමිකාව ‘ලනුව උඩින් ඇර’
විස්සයි-20 තරගාවලිය

භානුකගේ භූමිකාව ‘ලනුව උඩින් ඇර’

editorial - 2024 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය දඹුල්ලේ සිට...)

“සාර්ථක වුණත් අසාර්ථක වුණත් එහි සම්පූර්ණ වගකීම ක්‍රීඩකයන් විසින්ම භාරගත යුතුයි” යයි මුත්තයියා මුරලිදරන් වතාවක් කීවේය. 

මුරලිදරන් කීවේ ටක්කෙටම නිවැරදි කතාවකි. 

මේ වන විට ටෙස්ට් ලෝක ශූරතාවලියේ තුන්වැනි ස්ථානයේ සිටින්නේත්, අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව 5 වැනි  ස්ථානයේ සිටින්නේත් 2023 නොවැම්බරයේදී පැවැති එක්දින ලෝක  කුසලාන තරගාවලියේදී මෙන්ම 2024 ජූනි මාසයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදීත් වැලේ වැල් නැතිව පරාජය වූ ශ්‍රී ලාංකිකයන්මය. ඒ එකම ක්‍රීඩක කණ්ඩායමකි. 

මේ කාරණාව, වෙන කාටත් වඩා හොඳින්, නව ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා දනී. තාවකාළික පුහුණුකරුවෙකුගේ සිට ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් සම්පූර්ණ වගකීම බාරගත් වහාම ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබූ කීර්තිමත් අතීතය නැවතත් ගෙන ඒමට ඔහු පොරොන්දු වූයේ ඒ නිසාය.

“දැනට ටෙස්ට් කණ්ඩායම ඉන්න තැනට එක්දින කණ්ඩායම වගේම විස්සයි-20 කණ්ඩායම් දෙකත් ගේන්න පුළුවන්. අපි හෙමින් එතෙන්ට යනවා” යයි ජයසූරිය මහතා මීට දින පහකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ජයසූරිය මහතාගේ නාට්‍ය පිටපත රඟදැක්වීමට නිමකරන ලද කදිම වේදිකාවකි. දෙවතාවක්ම විස්සයි20 ලෝක ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව් පිල මේ වන විට අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව 3 වැනි ස්ථානයේ පසුවේ. ශ්‍රී ලංකාව තවමත් 8 වැනි ස්ථානයේ පසුවේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නායක චරිත් අසලංක මෙම තරඟාවලිය නව ආරම්භයක් ලෙස සලකයි. 

“කණ්ඩායමක් හැටියට, මෙම තරඟාවලිය අලුත් ආරම්භයක් ලෙසින් සැලකීමට අපි බලාපොරොත්තු වෙනවා.”

“පසුගිය විස්සයි-20 ක්‍රිකට් තරගාවලි කිහිපයම අපි පරාජයට පත්වුණා. ඒත් අපි දන්නවා පිටියේදී අපි ඊට වඩා වැඩි ජවයක් පෙන්විය යුතුයි කියලා.....”

“මේ තරගමාලාවෙන් හොඳ ආරම්භයක් ලබාගන්න අපි බලාපොරොත්තු වෙනවා” යැයි රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ අද (12 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී චරිත් අසලංක පැවසීය.
නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ සුදු පන්දුවෙන් කරන සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළහ. ඒ සඳහා තිබෙන ඉතාමත් පැහැදිළි සාක්ෂිය වන්නේ භානුක රාජපක්ෂ නැවතත් ක්‍රීඩා කරන 11 දෙනා අතරට පැමිණීමයි.

භානුක අවසන් වරට ජාතික හිස්වැස්ම පැළඳ සිටියේ මීට මාස 21 කට පෙර, ඉන්දියාවට එරෙහිව 2023 ජනවාරි මාසයේදීය. නමුත් හදිසියේම, ඔහු නැවතත් පිටියේ සිටින 11 දෙනා අතරට කැඳවා තිබේ. ඕනෑම අවස්ථාවක සීමාවෙන් ඉවතට ඉහළින්ම පන්දු යැවීමට ඔහුට ඇති හැකියාව මෙවර ඔහුගේ වාසියට හිටියේය. 

ඕනෑම මොහොතකදී තරගයක් කණපිට පෙරළිය හැකි සමත්කමක් භානුකට තිබේ. ඒ සඳහා ඔහුට අවශ්‍ය වන්නේ ‘ලනුව උඩින් ඇර’ යන වචන තුන පමණි. එවන් අවස්ථාවන්හිදී භානුකගේ භූමිකාවට අවශ්‍ය විශ්වාසය එන්නත් කිරීමට ප්‍රධාන පුහුණුකරු ජයසූරිය සූදානම්ය.

“භානුකව තෝරා ගත්තේ දසුන් ශානක පිටියෙන් ඉවත් වූ නිසාත්, ඉනිම අග්ගිස්සේ ඕවරවලදී හතරේ සීමාවට ඉහළින් පන්දුව යැවීමට පුළුවන් කෙනෙක් අපේ පැත්තේ සිටිය යුතුයි කියලා අපිට හිතුණ නිසායි” නායක අසලංක අද සවස තහවුරු කළේය.
“ඒත් ඒක විතරක්ම නෙමේ.... එයාගේ අත්දැකීමත් භානුකගෙන් අපි බලාපොරොත්තු වෙනවා”

“එයා (ලෝකයේ විවිධ කණ්ඩායම් වෙනුවෙන්) විස්සයි-20 ක්‍රිකට් තරග ගණනාවකට ක්‍රීඩා කරලා අත්දැකීම් ගොඩාක් තියෙන කෙනෙක්. විශේෂයෙන්ම මැද පෙළේ පන්දුවට පහර දෙන විට, පන්දුව පරණ වුණාට පස්සේ, ඒක දඟ කැවීමට පටන් ගන්නවා. ඒ තත්වය පාලනය කරගැනීමට අපට භානුක වගේ කෙනෙක්ගේ අත්දැකීම් අවශ්‍ය වේවි”

“අනෙක් හේතුව තමා එයා කිසිම අනුකම්පාවක් නැතිව පන්දුවට පහර දෙන්නෙක් වීම. ඉනිමේ අග්ගිස්සේ ඕවර වලදී ඒ වගේ කෙනෙක් අපට අවශ්‍යයි” 

“මොකද, එයාට ඕනෑම මොහොතකදී හයේ පහරක් දෙකක් ගහන්න පුළුවන්” යයි වමත් පිතිකරුවාව කැඳවීමට ගත් ඉක්මන් තීරණය පිළිබඳ නායක අසලංක විස්තර කළේය.
ඉන්දියාව සමග පැවති විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකාව පරාජය වුවද ක්‍රීඩකයෝ යම් ධෛර්යවත් බවක් මෙන්ම දක්ෂතාද පෙන්නුම් කළහ. තරගයක් ජයගැනීම යනු ක්‍රීඩකයන් සියලු දෙනාගේම දස්කම් නියම වේලාවට ඒකරාශීවීමයි.

“වඩාත් හොඳින් සකස් කරගත යුතු අංශ කිහිපයක් තිබෙනවා. මම හිතන්නේ ඔවුන්ට වැරදුණු තැන් ඔවුන් දන්නවා. ඒ වෙනුවෙන් අපි විශේෂ පුහුණුවීම් කරනවා” යයි ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා දින කිහිපයකට පෙර පැවසීය.

සනත් ජයසූරිය මහතා තාවකාළික පුහුණුකරුවා ලෙස පත්වීමෙන් පසුව පුහුණු සැසිය වෙනස් ස්වරූපයක් ගත්තේය. පුහුණු සැසිය වඩාත් විනෝදජනක හා රසවත් කිරීමට ඔහුට අවශ්‍ය වූයේය. ඒ අතරම, තනි ලකුණ දෙකක් බවටත්, ලකුණු 2 ක් ඇති අවස්ථාවලදී ඒවා 3 වැනි ලකුණ බවට පරිවර්තනය කිරීමටත් ක්‍රීඩකයින්ට එල්ලවන බලපෑම් එන්න එන්නම වැඩිවෙයි. 

“තරගයක් තියෙද්දී ඒ වෙනුවෙන් උපරිම අවධානය යොමු කිරීම මට අවශ්‍යයි. ඒත් තරඟයෙන් පස්සේ ඒක අතහැරලා දාන්න. තරඟය අවසන් වුණාට පස්සේ, ක්‍රීඩකයන් පීඩනයට පත් කරන්න මට අවශ්‍ය නැහැ” යයි ප්‍රධාන පුහුණුකරු කියයි. 

“බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගාවලි දෙක අපට ඉතා වැදගත්. මොකද මේ තරගාවලි පැවැත්වෙන්නේ අපේම භූමියේ. ඒ නිසා මම ක්‍රීඩකයන්ගෙන් 101% ක කැපවීමක් බලාපොරොත්තු වෙනවා.” සනත් ජයසූරිය මහතා කීවේ බටහිර ඉන්දියානුවන් ලංකාවට ගොඩ බසින්නටත් පෙරය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සමස්ත සහය කාර්ය මණ්ඩලය මෙන්ම ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ සේවය කරන කාර්ය මණ්ඩලයත් ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ ක්‍රියා පටිපාටිය දැඩි ලෙස නිරීක්ෂණය කරමින් කරති.

ටෙස්ට් සහ එක්දින මාදිලියට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකට යමින්, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව වේග පන්දු පන්දුවෙන් තරගයට යාමට ශ්‍රී ලංකාව තීරණය කර ඇත. චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ සහ අසිත ප්‍රනාන්දු හෙට තරගය සඳහා තෝරාගත් වේග පන්දු යවන්නන් තිදෙනායි.

“වේග පන්දු යවන්නන් හතර දෙනාම හොඳින් ක්‍රීඩා කරන නිසා අපට කණ්ඩායම තෝරා ගැනීමත් දුෂ්කර වුණා. ඒත් අපි හොඳම ආකාරයෙන් දස්කම් අතර ඉන්නේ කවුද කියලා බලලා ක්‍රීඩකයන් තෝරා ගත්තා” යයි නායක චරිත් අසලංක පැවසීය. කෙසේ වෙතත්, මතීෂ පතිරණ ඔහුගේ ඕවර 4 අවසන් කරන්නේ කෙසේද යන්න මත බොහෝ දේ රඳා පවතී. පා ඉන්න පැත්තෙන් වයිඩ් පන්දු දෙකක් යැවීමම ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි වීමට කාරණයක් විය හැකිය. 

ඉන්දියාවට එරෙහි පැවැති එක්දින තරගාවලියේදී ඉතා සාර්ථක වූ බැවින් ජෙෆ්රි වැන්ඩර්සේ  සංචිතයට ඇතුළත් කර තිබේ. ඔහු විස්සයි-20 තරගවලදීත් හොඳින් දස්කම් දක්වන නමුත් වනිඳු හසරංග කණ්ඩායමට පැමිණි විට ඔහුට (වැන්ඩසේට) කණ්ඩායාමෙන් ඉවත් වීමට සිදුවෙයි. 

එහෙත් වඩාත් දුරදිග බැලීමේදී පෙනී යන කාරණාව නම්, දඟ පන්දු යවන්නන් තිදෙනෙකු ක්‍රීඩා කිරීමට අවශ්‍ය අවස්ථාවකදී හසරංග සහ වැන්ඩර්සේ යන දෙදෙනාම එකම දිනක ක්‍රීඩා කිරීමට ඉඩ තිබීමයි. මහේෂ් තීක්ෂණ පිට දඟ පන්දු යවන්නෙකු ලෙස සැලකෙන අතර චරිත් අසලංකට කරදරයකින් තොරව ඕවර 4 ක් සම්පූර්ණ කරගත හැකිය.
බටහිර ඉන්දීය කොදෙව්වන් මෙවර ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ ඔවුන්ගේ තරු පන්තියේ ක්‍රීඩකයින් සිව් දෙනකු නොමැතිවය. 

 ඔන්ඩි්‍ර රසල්, නිකලස් පූරන්, ෂිම්රන් හෙට්මියර් සහ අකීල් හොසේන් යන සිව් දෙනාම මෙවර ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත් වූයේ “පෞද්ගලික හේතු” ඇතැයි කියමිනි. විස්සයි-20 පන්දු යවන්නන්ගේ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම අනුව අකීල් හොසේන් දෙවැන්නාය. විස්සයි-20 පිතිකරුවන්ගේ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම අනුව නිකලස් පූරන් 8 වැනියාය. 
එහෙත් ඒ ගැන කොදෙව් නායකයාට කණගාටුවක් නැත. බටහිර ඉන්දීය කොදෙව් පිලට තරුවලින් අඩුවක් නොමැති බවත් මෙය යොවුන් ක්‍රීඩකයන්ට ලැබෙන අවස්ථාවක් බවත් බටහිර ඉන්දීය කොදෙව් නායක රෝමන් පවෙල් පවසයි.

“බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවේ හැමදාමත් තරු ඉන්නවා. අල්සාරි ජෝශප් අපි වෙනුවෙන් හොඳට සෙල්ලම් කරනවා වගේම ෂෙමාර් ජෝශප් අපිත් එක්ක ඉන්නවා”
“වයසින් තරුණ නොවන නමුත් ජාත්‍යන්තර විස්සයි-20 ක්‍රිකට් වලට තරුණයෙක් වන රොස්ටන් චේස් ඉන්නවා. අපිට හොඳ කොල්ලෝ ගොඩක් ඉන්නවා. ඔවුන් දිහා වාඩිවෙලා බලා ඉන්න පුළුවන් ” යයි කොදෙව් නායක රෝමන් පවෙල් අද සවස දඹුල්ලේදී පැවසීය.
කෙසේ වෙතත් සංචාරයක පිලේ නායකයා ඔහුගේ ක්‍රීඩා කරන 11 දෙනා හෙළි කිරීමට තරම් නිර්භීත නොවීය. 

“කණ්ඩායම ප්‍රකාශයට පත් කිරීම බටහිර ඉන්දීය ක්‍රමය නොවේ. අපි පුහුණු සැසිය දෙස බලනවා. ඊට පස්සේ කඩුල්ලත් බලලා තමයි කණ්ඩායම තීරණය කරන්නේ” යයි 11 දෙනාගේ ප්‍රශ්නය යටපත් කරමින් කොදෙව් නායකයා පැවසීය.


ශ්‍රී ලංකා කණ්ඩායම
පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක (නායක), භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චමිඳු වික්‍රමසිංහ, මහේෂ් තීක්ෂණ, මතීෂ පතිරණ සහ අසිත ප්‍රනාන්දු.

බටහිර ඉන්දීය කොදෙව් වි-20 සංචිතය
රෝමන් පවෙල් (නායකයා), රොස්ටන් චේස්, ෆේබියන් ඇලන්, ඇලික් අතාන්ස්, ඔන්ඩි්‍ර ෆ්ලෙචර්, ටෙරන්ස් හයින්ඩ්ස්, ශායි හෝප්, අල්සාරි ජෝෂප්, ශෙමාර් ජෝෂප්, බ්‍රෙන්ඩන් කිං, එවින් ලුවිස්, ගුදාකේෂ් මෝති, ශර්ෆේන් රදර්ෆර්ඩ්, රොමාරියෝ ෂෙපර්ඩ් සහ ෂෙමාර් ස්පිංගර්

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


අදහස් (0)

භානුකගේ භූමිකාව ‘ලනුව උඩින් ඇර’

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.