Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Windies in SL Series 2024 උපාය මාර්ග වෙනුවෙන් සනා පෙනී සිටී

උපාය මාර්ග වෙනුවෙන් සනා පෙනී සිටී

editorial - 2024 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ සිට...)

දෙවැනි විස්සයි-20 තරගය පරාජය වීමෙන් පසුව කොදෙව්වෝ විවිධ ආඩපාලි කීවෝය. “ඇත්තටම ඒක සාධාරණ තණතීරුවක් නෙමේ. අනෙක ඒක විස්සයි-20 තරගවලට හරියන තණතීරුවකුත් නෙමේ”

“විස්සයි-20 ක්‍රිකට් කියන්නේ හොඳින් ලකුණු ලබාගන්නා ක්‍රීඩාවක්. ඒ වුණත් එයාලා, එයාලටම හරියන්න තණතීරුවක් හදාගෙන තිබුණා” යයි කොදෙව් නායක රෝමන් පවෙල් තරගයෙන් පසුව පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී රොෂාන් අබේසිංහ හමුවේ පැවසීය. 
මාධ්‍ය හමුවට පැමිණි. කොදෙව් උප නායක රොස්ටන් චෙස් කීවේත් එවැනිම කතාවකි. 

“ඔයාලා දකින්න ඇතිනේ... පළමු වැනි තරගයේදී තිබුණේ හොඳ තණතීරුවක්.. ඒත් මේ තරගයේදී තණතීරුව හුඟාක් දඟ කැවෙන්න ගත්තා”

“මේගොල්ලන් (ශ්‍රී ලංකා ක්‍රීඩකයන්) පළමු තරගය පැරදුනාට පස්සේ ඒ වගේ හොඳ තණතීරුවක පිතිහරඹයට බයවුණා. ඒක හින්දා තමයි මේ ගොල්ලලෝ තමන්ටම හරියන්න තණතීරුවක් හදා ගත්තේ.... ඒ වගේ තත්ත්වයකදි අපිට ඔලුව උස්සගන්න අමාරුයි කියන එක හැමෝම දන්න දෙයක්....” යයි උප නායක රොස්ටන් චේස් අඟහරුවාදා (15 වැනිදා) පැවැති දෙවැනි තරගයෙන් පසුව මාධ්‍ය හමුවේ පැවසීය. 

කොදෙව් නායකයාත්, උප නායකයාත් එසේ කීවද ශ්‍රී ලංකා පුහුණුකරු සනත් ජයසූරිය ලඟ ඒවාට පිළිතුරු තිබිණ. සනත් ජයසූරිය කීවේ පැවැති කාලගුණය වෙනස්වීම නිසා මෙම තත්ත්වය ඇතිවූ බවයි. 

“අපි මේ තරගය සෙල්ලම් කළේ කලින් තරගය ක්‍රීඩා කරපු තණතීරුවේම තමයි. ඒක හින්දා තණතීරුව එන්න එන්නම වියළි ස්වරූපයක් ගත්තා. පන්දුව මේ තරම් දඟ කැවෙන්නට ඒක හේතුවක් වෙන්න ඇති.” 

“මෙහේත් (දඹුල්ලේ) දිගින් දිගටම වැස්ස තිබුණා. දවස් දෙකක්ම තණතීරුව ආවරණය කරලා තිබුණේ. ඒ හින්දා තණතීරුවේ සෑහෙන තෙතමනයක් තිබුණා. ඒක ටිකක් පන්දුව දෝලනය වෙන්න උපකාරී වෙනවා.... ඒත් පළමු තරගයෙන් පස්සේ වැස්සේ නෑ... ඒක නිසා තණතීරුව එන්න එන්නම වේළුණා..” යයි අඟහරුවාදා මාධ්‍ය හමුවට පැමිණි සනත් ජයසූරිය පැවසීය. 

වර්ෂාව නොමැති වීම හේතුවෙන් තණතීරු අවරණ ඉවත් කර තැබුණු අතර වරින් වර වැටුණු හිරු එළියට අමතරව ඉබ්බන්කටුව වැව දෙසින් එන සුළඟත් තණතීරුවේ වියළි භාවය උද්දීපනය  කිරීමට කාරණාවක් විය. 

රොස්ටන් චේස් වැඩිදුරටත් කීවේ මේ ආකාරයේ තණතීරු තමන්ට ආගන්තුක බවයි. එහෙත් තම පිතිකරුවන් දඟ පන්දු යවන්නන් හමුවේ අසරණ වන බව පිළිගැනීමට කොදෙව් උපනායකයා මැළිවිය. 

“මේ වගේ තණතීරු වලට අපි එච්චර හුරු නෑ”

“අපි දඟ පන්දු යවන්නන්ට මුහුණ දෙන්න සූදානම්... ඒත් පන්දුව මේ තරම් දඟ කැවෙනකොට, අපි පුරුදුවෙලා තියෙන විදිහත් එක්ක, ඒකට මුහුණ දෙන්න ටිකක් අමාරුයි. ඒක නිසා අපි ආයෙමත් මූලිකාංගවලට ගිහිල්ලා තියුණු ආකාරයෙන් දඟ කැවෙන පන්දුවලට මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕනා” යයි ද රොස්ටන් චේස් කීවේය. 

තණතීරුවේ තත්ත්වය හොඳින්ම දැන සිටි ශ්‍රී ලංකා පිතිකරුවෝ කොදෙව් දඟ පන්දු යවන්නන් දෙදෙනා හමුවේ පරෙස්සම් වූහ. ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු ලබාගත්තේ කොදෙව් පිලේ සිටි වේග පන්දු යවන්නන් සිව් දෙනාගෙනි. වේග පන්දු යවන්නන් සිව් දෙනාගෙන් ලකුණු 115 ක් උදුරාගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ දඟ පන්දු යවන්නන් දෙදෙනා වූ ගුඩාකේෂ් මෝති (13) සහ රොස්ටන් චේස් (24) දෙදෙනාගෙන්ම ලබාගත්තේ ලකුණු 37 ක් පමණි. 

මෝති සහ චේස් දෙදෙනා එක්ව යැවූ නිලකුණු පන්දු සංඛ්‍යාව 30 කි. ඒ පන්දු සංඛ්‍යාව ඉවත හළ ශ්‍රී ලංකා පිතිකරුවන් හොඳින් පන්දුවට පහර දුන් බව ජයසූරිය මහතා කීවේ එබැවිනි. 

“අපි හොඳින් පන්දුවට පහර දුන්නා. ලකුණු 160 ක් ලබාගත්තා. විශේෂයෙන්ම පැතුම් (නිස්සංක) සහ කුසල් (මෙන්ඩිස්) දෙන්නා ඉතාමත් හොඳින් ලකුණු ලබාගත්තා. කුසල් ජනිත් වුණත් ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා... වැදගත්ම දේ තමයි අපේ පිතිකරුවන් පන්දුවට පහර දීමේ අවස්ථාව එකිනෙකා එක්ක හුවමාරු කරගනිමින් අවස්ථානුකූලව හතරේ සහ හයේ පහර ගැසීම”

“අපි සැලසුම් කළේ ලකුණු 160 ක් විතර. චරිත් වුණත් (කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව) කිව්වේ ලකුණු 160 ක් කියන්නේ හොඳ ලකුණු සංඛ්‍යාවක් වේවි කියන එකයි.” යයි ද ශ්‍රී ලංකා පුහුණුකරුවා පැවසීය. 

වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම යන්නේ අරමුණක් ඇති ගමනකි. 

ටෙස්ට් ලෝක ශූරතාවලියේ තුන්වැනි ස්ථානය දක්වා ඉහළට නැඟගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින සහ විස්සයි-20 දක්‍ෂතාත් එතැනට ගෙන ඒම පුහුණුකරුවාගේ ඉලක්කයයි. පළමු විස්සයි-20 තරගයෙන් පසුව උපාය මාර්ගික වශයෙන් තීන්දු තීරණ කිහිපයක්ම ගත් පුහුණුකරුවා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවශ්‍යම කරන ආත්ම විශ්වාසය එන්නත් කළේ “මැච් එක දිනන්න ඕන නම් මෙහෙම ගහපල්ලා” යයි කියමිනි. 

ඒ අනුව ක්‍රීඩා කළ ශ්‍රී ලාංකිකයෝ විස්සයි-20 ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ 3 වැනි ස්ථානයේ සිටින කොදෙව් කණ්ඩායම අන්ද මන්ද කර දැමූහ. 
“අනාගතය දිහා බලන්න...”

“(2026 දී) ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ මෙහේ. (ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරන තරගාවලියකි). ඒ හින්දා මේ වගේ තණතීරු ඉදිරියේදීත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක ලෝකයේ මේ කලාපයේ තියෙන ස්වභාවයයි” සනත් ජයසූරිය මහතා කීවේය. 

එසේ කියා මාධ්‍ය කුටියෙන් බැස ගිය පුහුණුකරුවා, තමන්ගේ සමස්ත සහාය කාර්ය මණ්ඩලයම කැඳවාගෙන ඊළඟට ගියේත් තණතීරුව අසළටය. 

දුනිත් වෙල්ලාලගේ මංගල විස්සයි-20 තරගයට සහභාගි වූයේ ඊයේ (15 වැනිදා) වූවත් ඔහු ශ්‍රී ලංකා හිස්වැස්ම දිනාගත්තේ 2022 ඕස්ටේ්‍රලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේදීය. එදා පටන්ම, ඔහු දිනෙන් දින දියුණු වූ ක්‍රීඩකයකු ද විය. 

වසර 2022 ජනනවාරියේදී ශ්‍රී ලංකා යොවුන් පිලේ නායකයා ලෙසින් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටි දුනිත් වෙල්ලාලගේ එහි සිටි විස්තර විචාරකයන්ගේ නොමඳ ප්‍රශංසාවට ලක්වූ ක්‍රීඩකයෙකි. 2022 යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී කඩුලු 17 ක් දවාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නා වූ වෙල්ලාලගේ, ශතකයත් ද සමගින් ලකුණු 264  ක් ලබාගනිමින් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර හත්වැනියා වූයේය.

දුනිත් වෙල්ලාලගේ යනු එකම තරගයකදී ශතකයක් මෙන්ම කඩුලු 5 ක් ද දවාගත හැකි, සැබෑ නිර්නායකය අනුවම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා කණ්ඩායම කලක් තිස්සේ සොයමින් සිටි ක්‍රීඩකයා ඔහුය. 

චරිත් අසලංක තුන්වැනි ඕවරයේදීම වෙල්ලාලගේ අතට පන්දුව දුන්නේය. වෙල්ලාලගේ සිය පළමු ඕවර තුන එක දිගට යවා අවසන් කරන විට ලකුණු 05 කට කඩුලු 3 ක් දවාගෙන තිබිණ. 8 වැනි ඕවරය නිමාවේදී කොදෙව් ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 4 කට ලකුණු 28 ක් ලෙසිනි.  

“දුනිත් වෙල්ලාලගේ ඒ වගේ අභියෝගයක් බාරගත්ත විදිහ ගැන මම හරිම සතුටු වෙනවා. ක්‍රිකට් ක්‍රීඩයකුගෙන් මම දකින්න කැමතිම දේත් ඒක තමයි. ඒ වගේ වෙලාවක එයා බෝලේ අතට අරන් ඕවර 4 කින් ලකුණු 09 කට කඩුලු දවාගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමේ”

“තණතීරුවෙන් කොයිතරම් සහයෝගයක් තිබුණත්, කඩුලු දවාගන්න නම් නිවැරදි ප්‍රදේශවල වගේම නිවැරදි දුරකින් පන්දුව පතිත කරන්න ඕනේ. ඉතින් පීඩනය තියෙද්දීත්, එයා හොඳින් පන්දු යවලා, එයා අපි එක්ක ඉන්න ඕන තාලේ තුන් ඉරියව් ක්‍රීඩකයක් කියලා පෙන්නුවා” යයි ද පුහුණුකරුවා පැවසීය. එහෙත් එක්දින හිස්වැස්ම දිනා වසර දෙකක් යනතුරුත් විස්සයි-20 පිලට එක්නොවූ වෙල්ලාලගේ ගැන ඊට වඩා යමක් කීමට පුහුණුකරුවා ඉදිරිපත් නොවීය. 

“අතීතයේ යම් යම් දේවල් සිද්ධ වුණා වෙන්න පුළුවන්. දැන් ඒවා ගැන කතාකරලා වැඩක් නෑ.”

“ශ්‍රී ලංකාව දිනන්න නම් අපි හොඳම කණ්ඩායම සෙල්ලම් කරවන්න ඕනා. පුහුණුකරුවකු හැටියට මට තියෙන්නේ මට දෙන කණ්ඩායත් එක්ක ඉදිරියට ගිහිල්ලා, එයාලගෙන් ගන්න පුළුවන් උපරිමය ලබාගන්න එකයි” යයි ජයසූරිය මහතා වැඩිදුරටත් කීවේය. 

දෙවැනි තරගය සඳහා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් කිරීමට ප්‍රබල අවශ්‍යතා තිබිණ. ජයසූරිය මහතා ඒ පිළිබඳ විස්තර කළේ මෙලෙසිනි. 

“නුවන් තුෂාර කියන්නේ අපට ඉන්න විස්සයි-20 පන්දු යවන්නෙක්. ඒ වගේම එයාට පුළුවන් පන්දුව එක එක විදිහට යවන්න. ඒ හින්දා තමයි මේ තරගයට අපි නුවන් තුෂාරව ගේන්නේ. මොකද පළමු තරගය දිහා අපි ආපහු හැරිලා බැලුවාම, (හිතාමතාම - උපක්‍රමයක් ලෙසින්) පන්දුවේ වේගය අඩාල කරමින් යැවුණු පන්දු සංඛ්‍යාවේ අඩුවක් තිබුණා. ඒ නිසා තමයි නුවන් තුෂාරව මේ තරගයට ගෙන්නේ” 

අද තරගයට අපිට අවශ්‍ය වුණේ දඟ පන්දු යැවීමේ හැකියාව තියෙන තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඒ නිසා තමයි චමිඳු වික්‍රමසිංහව එළියේ තියලා දුනිත්ව ගෙනාවේ” යයි පුහුණුකරුවා පැවසීය. 

දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාව පිටියට යැවූ කණ්ඩායම බැලූ බැල්මට පෙනුණේ දඟ පන්දු යවන්නන්ගෙන් පුරවා දැමූ කණ්ඩායමක් ලෙසිනි. එහෙත් එහි වේග පන්දු යවන්නෝ දෙදෙනෙක් සිටියහ. තෝරාගත් දඟ පන්දු යවන්නන් වූයේ මතීෂ පතිරණ සහ වනිඳු හසරංග දෙදෙනාය. දුනිත් වෙල්ලාලගේ තුන් ඉරියවව් ක්‍රීඩකයා විය. එහෙත් පිතිකරුවන් වන චරිත් අසලංක සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනාත් පන්දු යවන්නටත් කඩුලු දවාගන්නටත් වීම හේතුවෙන් එය දඟ පන්දු යවන්නන්ගෙන් පුරවා දැමූ කණ්ඩායමක් සේ දිස්විය. 

වේග පන්දු යවන්නන්ට වාසිදායක තත්ත්වයක් තියේ නම් චමිඳු වික්‍රමසිංහ 11 දෙනා අතරට කැඳවිය හැකිය. වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය රඳා පවතින්නේ එතැනය.

“අපේ රටේ සෙල්ලම් කරන කොට අපි කණ්ඩායමක් තෝර ගන්න ඕනේ අපිට ගැලපෙන විදිහට..”

“අනෙක් කාරණේ තමයි අපි කාසියේ වාසිය දිනුවත් නැතත්, අපිත් මේ තණතීරුවේම සෙල්ලම් කරන්න ඕනේ. ඒක (තණතීරුව) කණ්ඩායම් දෙකටම පොදුයි. එතැනදි අපේ ක්‍රමවේදය වගේම පහර තෝරාගන්නා විදිහත් වෙනස් වෙනවා”

“සමහර විට ‘ස්වීප්’පහර වගේම ‘රිවර්ස් ස්වීප්’ පහරත් වැඩි වැඩියෙන් යොදාගන්න සිද්ධ වෙන්න තිබුණා” යයිද පුහුණුකරුවා පැවසීය. 

වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිහරඹයේ පහළ කොටසේදී ලකුණු 30 ක් 40 ක් ලබාගැනීමේ හැකියාවක් තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලයේදී පැවැති විස්සයි-20 තරග වලදී දිගින් දිගටම පරාජය වූයේ එවැනි ශක්තියක් පහළ මැද පෙළ පිතිහරඹයේ නොතිබූ බැවිනි. 

“ඒක තමයි අපට නැතිව  තිබුණේ. ඒක හින්දා තමයි අපි ඉන්දියාවත් එක්ක තරගාවලියෙදි පැරදුණේ. දැන් අපිට ඒක තියෙනවා.”

“ඒ වගේම පන්දු යවන්නන් ගැන වුණත් අපි අනාගතය ගැන හිතලා එක එක සම්බන්ධතා හදාගන්න ඕනේ..... අනෙක් පැත්තෙන් බැලුවාම ටෙස්ට් තරගාවලියක් ඉවර  වුණ ගමන්මයි විස්සයි-20 තරගාවලියට එන්නේ... ඒක ඉවර වුණ ගමන්ම එක්දින තරගාවලියකට යනවා”
“ක්‍රීඩකයන්ට මේක ටිකක් අමාරු දෙයක්.” යයි ද පුහුණුකරුවා පැවසීය. 


අදහස් (0)

උපාය මාර්ග වෙනුවෙන් සනා පෙනී සිටී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.