Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Windies in SL Series 2024 බංකුවේ හයිය බලන දවසක්
තුන්වැනි එක්දින තරගය

බංකුවේ හයිය බලන දවසක්

editorial - 2024 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ සිට..)

කොදෙව් පිලට එරෙහි පළමු එක්දින තරග දෙකම දිනාගනිමින්, එක්දින තරගාවලිය ජයගත් නමුත් අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළට ගියේ නැත. 

දෙපිලේම ශ්‍රේණිගත ස්ථාන වෙනස් වී නැති නමුත් කොදෙව් පිලෙන් ප්‍රසාද ලකුණක් ගිළිහී ගොස් තිබේ. එහෙත් ශ්‍රී ලංකාවට හිමිව තිබූ ප්‍රසාද ලකුණු 97 ඉහළට යාමක් ද නැත. 

මීට ප්‍රධාන හේතුව වන්නේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත ලයිස්තුවේදී ශ්‍රී ලංකාව ඉහළිනුත් (7 වැනි ස්ථානය) කොදෙව් පිල පහළිනුත් (10 වැනි ස්ථානය) සිටීමයි. එවන් තත්ත්වයකදී ඉහළින් සිටින කණ්ඩායම තරගාවලිය ජයගනු ඇතැයි යන්න පූර්වෝපකථනයයි. 

ශ්‍රේණිගත ලයිස්තුවේදී කණ්ඩායමක ඉහළ යාම සිදුවන්නේ තමන්ට වඩා ඉහළින් සිටින කණ්ඩායම් පරාජය කිරීමෙනි. තවත් දෙසතියකින් නවසීලන්ත පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාවට ඒ අවස්ථාව උදාකර ගත හැකිය. එහෙත් කොදෙව් පිල සමගින් පැවැත්වෙන තරගාවලිය තවමත් අවසන් වී නැත. එබැවින්, ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් උත්සාහය වන්නේ තුන්වැනි තරගයත් ජයගනිමින් කොදෙව්වන්ට 3-0 ක සුද්දයක් දීමයි. 

ශ්‍රී ලංකාව සහ කොදෙව් පිල අතර හෙට (26 වැනිදා) පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි එක්දින තරගය බංකුවේ වාඩිවී සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ශක්තිය මැන බැලෙන දවසකි. එනම් තරගාවලිය ජයගැනිමට වෙහෙස වූ ක්‍රීඩකයන්ට විවේකයක් දී, බංකුවේ වාඩිවී සිටි ක්‍රීඩකයන් පිටියට යැවීමෙන්, ඔවුන්ට තරගය ජයගත හැකිද යන්න විමසා බැලීමයි. 

පැතුම් නිස්සංක ක්‍රීඩා කිරීමට තරම් සුවය ලබා සිටින නමුත් පැතුම් සමගින් අවදානමක් ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකාරීත්වය සූදානම් නැත. මේ වනවිටත් තරගාවලිය ජයගෙන සිටින බැවින් ඉතිරිව ඇත්තේ ප්‍රශ්න දෙකකි. 

එකක් අසාර්ථක වෙමින් සිටින අවිශ්ක තවත් අවස්ථාවක් දෙනවාද, නැතහොත් එක්දින තරගාවලියේදී ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලත් චමිඳු වික්‍රමසිංහ 11 දෙනා අතරට කැඳවනවාද යන්නයි. 

“අවිශ්කට තරග දෙකේදීම ලකුණු ලබාගන්න බැරිවුණා. කුසල් වුණත් හොඳින් ලකුණු අතර හිටියත් එයාටත් ලොකු ඉනිමක් ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණේ නෑ. මට තේරෙන විදිහට නම්, බෝලේ ටිකක් දැඩි තත්ත්වයක් තියෙද්දී (පළමු ඕවර 15 ඇතුළත) ලකුණු ලබාගන්න ටිකක් අමාරුයි. ඒත් පන්දුව ටිකක් විතර මෘදු වෙනකොට පිතිකරුවන්ට ලේසියි” 
“පිතිකරුවන් මුහුණ දෙන අභියෝගය මේක තමයි” යයි තිළිණ කණ්ඩම්බි මහතා ඊයේ සවස පල්ලෙකැළේදී පැවසීය. 

විශේෂයෙන්ම පිතිකරුවකු වශයෙන් චමිඳු වික්‍රමසිංහගේ තරම මැන බැලීමට නම් පිතිකරු ලයිස්තුවේ අංක 6 හෝ 7 ස්ථාන දෙකින් එකක ඔහු ක්‍රීඩා කරවිය යුතුය. ඔහුට තරගය අවසන් කර ක්‍රීඩාගාරයට පැමිණිය හැකිද යන්න විමසා බැලීම අවශ්‍යතාවක්ව තිබෙන හෙයින් හෙට තරගයේදී  ඔහුට ඒ අවස්ථාව ලැබීමේ කිසියම් සම්භාවිතාවක් පවතී. 

තිළිණ කණ්ඩම්බි මහතාගේ නිර්දේශය වන්නේ අංක 5, 6 හෝ 7 ස්ථානයෙන් පිටියට යන කවුරුන් වූවත් තරගය අවසන් කර ආපසු ක්‍රීඩාගාරයට පැමිණෙනවා විනා ඒ කාරිය පන්දු යවන්නන්ගේ කරේ ගැසිය යුතු නැති බවයි. 

තරගාවලිය ජයගන්නා තුරුම ඩිල්ෂාන් මධුශංකට හෝ මොහොමඩ් සිරාජ්ට අවස්ථාවක් නොලැබිණ. එබැවින් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන ආකෘති තුනේදීම වෙහෙසකර රාජකාරියක නිරතව සිටින අසිත ප්‍රනාන්දු විවේක ගන්වා ඔහුගේ ස්ථානය ඩිල්ෂාන් මධුශංකට හෝ මොහොමඩ් සිරාජ්ට දිය හැකිය. ඩිල්ෂාන් මධුශංක යනු 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ හොඳම පන්දු යවන්නාය. 

“හෙට තරගයේදී ලොකු වෙනසක් කරන්න අදහසක් නෑ.. මොකද අපි හැම තරගයක්ම දිනන්න තමයි ක්‍රීඩා කරන්නේ.. ඒ හින්දා දස්කම් අතර සිටින ක්‍රීඩකයන්ව එළියේ තියන්න අදහසක් නෑ” යයි ද කණ්ඩම්බි මහතා පැවසීය. 

ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග පවසන පරිදි කොදෙව් පිලට එරෙහිව තරගාවලි දෙකේදීම ලබාගත් ජයග්‍රහණ ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වන්නේ කණ්ඩායම 2026 විස්සයි-20 ලෝක කුසලානයත්, 2027 එක්දින ලෝක කුසලානයත් ඉලක්ක කරගනිමින් කටයුතු කරන බැවිනි. 

“ඉන්දියාව එක්ක අපි ලබාගත්ත (එක්දින) ජයග්‍රහණයත්, කොදෙව්වන් හමුවේ ලබාගත්ත ජයග්‍රහණ දෙකත් අපට ඉතාමත් වැදගත් වගේම සතුට දනවන ජයග්‍රණ දෙකක්. මොකද 2026 අවුරුද්දේ අපිට (විස්සයි-20) ලෝක කුසලාන තරගාවලියක් තියෙනවා. අපි ඒක ඉලක්ක කරගෙනයි ඉදිරියට යන්නේ..” යයි හසරංග කියයි. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් සංයුතිය අනුව විශේෂඥ පිතිකරුවකුටවත් කණ්ඩායමට ඇතුළට පිවිසිමේ ඉඩක් නැත. කිසිවකු එසේ පැමිණීමට නම් 11 දෙනා අතර සිටින පිතිකරුවන් හය දෙනාගෙන් කෙනෙක් අසාර්ථක වීම හෝ අසනීප වීම අනිවාර්ය අවශ්‍යතාවකි. එහෙත් එය බලාපොරොත්තු විය නොහේ. 

එනිසාම හෙට වැනි දිනෙකදී බංකුවේ හයිය මැනවින් මැනබලාගෙන සිටීම ලෝක කුසලාන තරගාවලි දෙකක් ඉලක්ක කරමින් ගමන් ගන්නා කණ්ඩායමකට හමුවන හොඳ මංසන්ධියකි. 


අදහස් (0)

බංකුවේ හයිය බලන දවසක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.