Last Update  :  2024-10-18 23:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Windies in SL Series 2024 සැමීගේ ‘වෙනස්‘ කතාව

සැමීගේ ‘වෙනස්‘ කතාව

editorial - 2024 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය දඹුල්ලේ සිට...)

සැමීගේ කතාව මුලින්ම කියන ලද්දේ කපිතාන් එල්මෝ ජයවර්ධනයන් විසිනි. කිව්වා නොව, ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද “සෑම්ස් ස්ටෝරි” නම් වූ එම කතාව අන්තර්ජාතික සාහිත්‍ය සම්මානයක් වන ග්‍රේෂන් සම්මානයෙන් ද පිදුම් ලැබීය. 

පසුව “සෑම්ස් ස්ටෝරි” නම් වූ එම නවකතාව “සැමීගේ කතාව” ලෙසින් සිංහල භාෂාවට පරිවර්තනය විය. සිංහල පරිවර්තනය ඇසුරින් නිර්මාණය කරන ලද “සැමීගේ කතාව” සිනමා පටයේ රඟපෑ ජගත් චමිල, 2013 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ පැවැති ‘නිව්යෝක් සිටි සිනමා සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙසින් ද සම්මානයට පාත්‍ර විය.
 
එහෙත් අද කියන ‘සැමීගේ කතාව’ එහෙම එකක් නොවේ. නවකතාවක් ද නොවේ. මෙදා පාර සැමී කියන කතාව තරමක් දුක්බර විලාපයකි. ශ්‍රී ලංකාව හමුවේ පළමු වතාවට විස්සයි-20 තරගාවලියකින් පරාජය වීමෙන් පසුව, අවවාදයක ස්වරූපයෙන් කියන අවලාදයකි. 

කොදෙව් කණ්ඩායමේ සීමිත ඕවර තරග පුහුණුකරු ඩැරන් සැමී කියන්නේ විස්සයි-20 තරගාවලිය පරාජය වූවත් එය තමන් ලද මානසික ජයග්‍රහණයක් බවයි. සදාචාරාත්මකව බැලුවොත් විස්සයි-20 තරගාවලියේදී තමන් ජයග්‍රාහකයන් වූ බවයි. 

ඔහු එසේ කීවේ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති විස්සයි-20 තරග තුනෙන් අවසන් තරග දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායම දඟ කැවෙන තණතීරු සකස් කරමින් තමන්ව බොරු වළකට ඇද දැමූ බවත් කියමිනි. 

තුන්වැනි තරගයෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී සිනා මුසු මුහුණින් වුවත්, දරුණු ගණයේ වචන ගණනාවකින්ම ශ්‍රී ලංකාවට දමාගැසූ බටහිර ඉන්දීය කොදෙව් පුහුණුකරුවා, ලබන වසරේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී “ඔය සෙල්ලම් හරියන්නේ නෑ” යයි ද කීවේය. 

“2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ (ඉන්දියාවේත් සම සත්කාරකත්වයෙන්) බව ඇත්තයි. ඒ වුණත්, එතකොට ඔය සෙල්ලම් හරියන්නේ නෑ. 
මොකද ඒ වෙලාවට අන්තර්ජජාතික ක්‍රිකට් සභාව තණතීරු ගැන හොයලා බලනවා” 
“අපේ පැත්තෙන් බලනකොට, මම කියන්නේ අවසන් තරග දෙක, ඒ තරග පැවැති තණතීරුවල තත්ත්වය තක්සේරු කළාම, අපි තරගාවලිය දිනුවා කියලා තමයි කියන්න වෙන්නේ...මොකද අපි තමයි සංචාරක කණ්ඩායම. අපි එන්න ඉස්සරවෙලා තමයි මේ තණතීරු සකස් කරලා තිබුණේ.. ඉතින්, අපේ කණ්ඩායමේ හොඳම හතර දෙනෙකුත් නැතිව ඇවිල්ලා අපි ඒ තණතීරුවට අභියෝග කළා” 

“ඔවුන් (ශ්‍රී ලංකා කණ්ඩායම) ඒකට ප්‍රතිචර දක්වපු විදිය තමයි මේ” යයි ඩැරන් සැමී කීවේය. 

පළමු විස්සයි-20 තරගයේදී කොදෙව්වෝ කඩුලු 5 ක පහසු ජයක් අත්කර ගත්හ. එහෙත් දෙවැනි තරගයේදී ලකුණු 162 ක් ලබාගැනීමෙන් පසුව කොදෙව්වන් ලකුණු 89 කට දවාගත් ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි තරගයේදී කඩුලු 9 ක අති විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත්තේය. 

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර විස්සයි-20 අන්තර්ජාතික තරගාවලි ආරම්භ වූ 2015 සිට මේ දක්වා පැවැති තරගාවලි තුනකින් දෙකක්ම කොදෙව්වෝ ජයගත්හ. එකක් ජය පරාජයෙන් තොරව නිමා විය. ශ්‍රී ලංකාව එවන් තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව මෙයයි.

වසර 12 කට ඉහත, කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ශ්‍රී ලාංකිකයන් ඇඬවූ නමුත් ඩැරන් සැමී යනු අඬා වැටෙන්නෙක් නොවේ. 2014 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේ වාසිය මිට මොළවාගෙන සිටියදී ඇද හැරුණු අනපේක්‍ෂිත ‘අයිස් වැස්ස’ නිසා සැමීට තරගයේ ජයත් ලෝක කුසලානයත් අහිමි විය. එහෙත් එදා ඩකා නුවර මාධ්‍ය හමුවේදී සැමී කීවේ ඇදහිය නොහෙන කතාවකි. 

“අන්තිම වතාවට ලෝක කුසලානයකට සෙල්ලම් කරන දෙන්නෙක් මෙතන (ශ්‍රී ලංකා කණ්ඩායමේ) ඉන්නවා. ඉතින් මේ වතාවේ එයාලට අවස්ථාව දෙන්න අපිට ඉහළින් ඉන්න කෙනාට (දෙවියන්ට) සිතෙන්න ඇති... ශ්‍රී ලංකාව මේ ලෝක කුසලාන දිනාගනීවි කියලා මම ප්‍රාර්ථනා කරනවා” යයි ඩැරන් සැමී 2014 දී කිවේය. 


සැමී නිතරම මදහස මුසු වදන් මාලාවක් මුවඟ රඳවාගන්නා අයෙකි. සිනාසෙමින් වුවද ඔහු කියන්නට ඇති දේ කියයි. සැමී ඊයේ රාත්‍රියේදී දඹුල්ලේදී  කළේත් ඒකම මිස අනෙකක් නොවේ. 

“මම කොල්ලන්ට කිව්වේ එකම දෙයයි. ලෝක කුසලාන තරගාවලියේදී මේ සෙල්ලම් බෑ. තණතීරු සාධාරණ ඒවා බවට අන්තර්ජාතික ක්‍රිකට් සභාව වගබලා ගන්නවා” කියලා මම කොල්ලන්ට කිව්වා” යයි සැමී කීවේය. 

සැමී ඔවුන්ට එසේ කියන්නට ඇත. 

කොදෙව් ක්‍රීඩකයන්ගේ මානසික ස්ථාවරය කඩාවැටීමට නොදී, ඉදිරියේ එන එක්දින තරගාවලිය සඳහාත් රඳවාගැනීම පුහුණුකරුවාගේ ප්‍රමුඛතම වගකීමකි. එහෙත් ඇත්ත ඇති හැටියෙන්ම බැලුවහොත්, දඹුල්ලේදී පමණක් නොව, පොදුවේ සමස්ත දකුණු ආසියාවේදීම පවතින තියුණු ලෙසින් දඟ කැවෙන සුළු තණතීරු මත සාර්ථක පිතිහරඹයක් කළ හැකි තාක්‍ෂණය කොදෙව්වන්ට තිබේද යන්නත් විමසීමට කාරණාවකි. 

නිතරම පන්දු නොයවන චරිත් අසලංකගේ පන්දුවක් හමුවේ ශර්ෆේන් රදර්ෆර්ඩ් දැවී ගිය ආකාරය නැවත නැවතත් බැලීම ඒ සම්බන්ධයෙන් කිසිවකුට අදහසක් ගෙනෙනු ඇත. ඉදිරි පාදයෙන් පිළිගත යුතු පන්දුවකට පසු පාදයේ සිට බැක් කට් පහරක් ගැසීමට උත්සාහ කිරීම නිසා රදර්ෆර්ඩ්ට සිතාගැනීමටවත් කාලයක් නොතබා අසලංකගේ පන්දුව කඩුල්ලට කඩා වැදුණේය. එම පන්දුව පතිත වූ ස්ථානය අනුව ඊට ‘බැට් කට්’ පහරක් ගැසිය නොහැකි බව වටහා ගන්නා විට රදර්ෆර්ඩ් ආපසු ක්‍රීඩාගාරයට යමින් සිටියේය. 

සංචාරකයන්ට මෙවන් තණතීරු හමුවන්නේ දඹුල්ලේදී පමණක් නොවේ. 

ඉන්දියාවේ විශාඛාපට්නම්, පූනේ නැතහොත් කාන්පූර් යන නගර වලදීත් බංග්ලාදේශයේ චැටෝග්‍රෑම් හෝ මීර්පූර් නුවරදීත් මෙවන් දඟකැවෙන තණතීරු හමුවෙයි. පාකිස්තානයේ මුල්තාන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී එංගලන්තය පරාජය වූයේත් මෙවැනිම තණතීරුවකදීය. 

අනෙක් අතට කොදෙව්වන් ලකුණු 62 කට කඩුලු 5 ක් අහිමි කරගත් තණතීරුවේදීම ශ්‍රී ලාංකිකයෝ කඩුලු 1 කට ලකුණු 60 ක් ද පසුව 166 ක් ද ලබාගත්හ. ඇත්ත ඇති හැටියෙන් බැලුවහොත් ශ්‍රී ලාංකික පිතිකරුවෝ තරග තුනේදීම ලකුණු 160 ඉක්මවා ලබාගත්හ. ඔවුන්ගේ ලකුණු ලබාගැනීම් පිළිවෙලින් සටහන් වූයේ 179/7, 162/5 සහ 166/1 ක් ලෙසිනි. එබැවින් දඹුල්ල තණ ණතීරුව කිසිම ආකාරයකින් ‘අසාධාරණ තණතීරුවක්’ යයි ලේබල් කිරීම කළ නොහැකිය. 

ශ්‍රී ලාංකික පිතිකරුවන්ගේ උපක්‍රමය වූයේ කොදෙව් දඟ පන්දු යවන්නන් වන ගුඩාකේෂ් මෝති, රොස්ටන් චේස් සහ ෆේබියන් ඇලන් හමුවේ අවදානම නොගෙන, වේග පන්දු යවන්නන්ට පහර දීමයි. එය සාර්ථක විය. කොදෙව්වන් අමාරුවේ වැටුණේ ශ්‍රී ලංකා පිතිකරු ලයිස්තුවේම චරිත් අසලංක යන පිට දඟ පන්දු යවන්නාත්, කමිඳු මෙන්ඩිස් යන දෑතින් දඟ පන්දු යවන්නන් දෙදෙනාත් සිටි බැවිනි. 

සැමී කියන කතාවේ නොපෙනන ප්‍රශ්නයක් ද තිබේ. එනම් දඟ කැවෙන තණතීරු සකස් කරමින් ශ්‍රී ලංකාවේදී ජයගත හැකි නමුත් ඕස්ටේ්‍රලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව හෝ නවසීලන්තය යන රටවලදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයගත හැකිද යන්නයි. ඒ ප්‍රශ්නයට උත්තරය සොයාගැනීම, වේග පන්දු යවන්නන්ට මෙන්ම ඔවුන්ගේ පුහුණුකරුවන්ටත් ඉඩ තබා සැමීගේ කතාවට හැරෙමු. 

ශ්‍රී ලාංකික වේග පන්දු යවන්නන් දෙදෙනා වන මතීෂ පතිරණට සහ නුවන් තුෂාරට පන්දු යැවීමට අවස්ථාව නොලැබීම ගැනත් සැමී කණගාටු වෙයි. සැබවින්ම සැමී එසේ කණගාටුවීම සාධාරණය. ඔවුන් දෙදෙනා පන්දු යැව්වේ නම් වයිඩ් පන්දුවලින් හෝ තව තවත් ලකුණු සංඛ්‍යාාවක් කොදෙව් පිලට එකතු වන බැවිනි. 

ඊයේ තරගයේදීත් දෙදෙනාම වයිඩ් පන්දු යැවූ අතර මතීෂගේ එකක් හතරේ සීමාවට ගියේය. මේ දෙදෙනා පා ඉන්නට ඈතින් යවන වයිඩ් පන්දු රැකගන්නේ හෝ අහුලාගෙන එන්නේ කව්රුන්ද යන්න සැමීට ප්‍රශ්නයක් නොවේ.  

කෙසේ වෙතත් තමන්ගේම කණ්ඩායම ගැන සැමී කී කතාව ගැන නම් හරස් ප්‍රශ්න තිබෙන්නට බැරිය. 

“අපි කුසලාන දිනන්න යන කණ්ඩායමක් නම්, එකකට එකක් වෙනස් තත්ත්වයන් යටතේ සෙල්ලම් කරන්න අපි පුරුදු වෙන්න ඕනා” යයි කොදෙව්  පුහුණුකරුවා කීවේය. 


අදහස් (0)

සැමීගේ ‘වෙනස්‘ කතාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.